Wednesday, October 26, 2011

විදුලිය ගාස්‌තු සංශෝධනය ජනවාරියේ සිට

ශිරාන් රණසිංහ

විදුලි ගාස්‌තු සංශෝධනය ජනවාරි මාසයේ සිට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්‌ස කොස්‌තා මහතා "දිවයින"ට පැවසීය.

ලංකා විදුලි බල මණ්‌ඩලය දිනකට රුපියල් මිලියන එකසීය හැට හතක්‌ පාඩු ලබන බැවින් විදුලි ගාස්‌තු වැඩි නොකළ හොත් ආයතනය කඩා වැටීමට ඉඩ ඇති බව කියමින් විදුලි ගාස්‌තු වැඩි කරන ලෙස විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලි චම්පික රණවක මහතා මහජන උපයෝගීතා කොමිසමට දන්වා ඇති බවත් පසුගිය වසර හා එළඹෙන 2012 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව මිල වැඩි කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමට බලතල ඇතැයි ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිටත් විදුලි ගාස්‌තුව වැඩි කරන ප්‍රමාණ පිළිබඳ කිසිදු තීන්දුවක්‌ ගෙන නොමැති බවත් ක්‍රමවේද ගණනාවක්‌ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමත් මහා භාණ්‌ඩාගාරයත් මේ වනවිට සලකා බලමින් තිබෙන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට විදුලි බල ක්‍ෂේත්‍රයේ නියාමනය කිරීමේ බල තල 2009 අංක 20 සහ 2001 අංක 35 දරණ පනත් යටතේ මහජන උපයෝගීතා කොමිසමට හිමි වී තිබෙන බැවින් ආර්ථික හා දේශපාලන කරුණු සලකා බලා විදුලි ගාස්‌තු සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ කොමිසමෙන් ලබාදෙන බවත් එය අවසන් වශයෙන් ක්‍රියාවට නංවන ක්‍රමය රජය විසින් තීරණය කරනු ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය.

මෙම කොමිසම ස්‌වාධීන ආයතනයක්‌ බැවින් පාර්ලිමේන්තුවට පමණක්‌ වගකීමට බැඳී සිටින බැවින් විදුලි ගාස්‌තු සංශෝධනය පිළිබඳ තවදුරටත් සොයා බලන බවද සභාපතිවරයා පැවසීය. පසුගිය මාස දෙක තුන තුළ රටට බල පෑ නියඟය නිසා ලංකා විදුලි බල මණ්‌ඩලය තාප විදුලි බලාගාරවලින් විදුලිය ගැනීමේදී විශාල පාඩුවක්‌ ලැබූවද එළඹෙන වසරේ තත්ත්වය පිළිබඳ සලකා බැලීමට සිදුවන බවත් කෙසේ වෙතත් ගාස්‌තු සංශෝධනය අවසන් වශයෙන් රජය මගින් තීරණය කරනු ඇතැයි ද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

http://www.divaina.com/2011/10/26/news04.html

No comments:

Post a Comment