Sunday, October 30, 2011

වල් අලියෙක්‌ කළ විපතක මහත


අපේ රටේ හුඟදෙනෙක්‌ අලි බලන්න කැලේ යන්නේ විනෝදෙට.... · අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කොච්චර කළත් ඇති වෙන්නේ නැහැ කියලනේ කතාවට කියන්නේ............. බලි බැලිල්ල කෙසේ වෙතත් අපේ උදවිය හොඳට වියදම් කරගෙන ඔය යාල, මින්නේරිය, උඩවලවේ, විල්පත්තුවේ වස්‌ගමුවේ වගේ පළාත්වල වනාන්තරවලට යන්නේ නම් අලි බලන්න......

කැලේ ඉන්න අලීන්ගේ හැසිරීම තුළ තියෙන විශේෂත්වය නිසා අපේ රටේ දේශීය සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයෝත් වල්අලි ගැන දක්‌වන්නේ පුදුමාකාර උනන්දුවක්‌.

සංචාරකයන්ට ඉමහත් විනෝදයක්‌ ආශ්වාදයක්‌ වින්දනයක්‌ ගෙන දෙන මේ අලි ඇත්තු ඒ ඒ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට නම් වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් කරදරයක්‌......... ඇයි දෙයියනේ පොළවත් එක්‌ක ඔට්‌ටු වෙලා දහදුක්‌ විඳලා, අහසෙන් වැස්‌සක්‌ වැටෙනකන් පෙරුම් පුරල හේන් කුඹුරු කොටල ඒකේ වගා දිගා කරගෙන අස්‌වැන්න ගන්න බලාගෙන ඉන්නකොට ඒ ටික කාල දාන්න හේනට අලි පැන්නාම මොන දෙවියන්ට කියන්නද?

අලි ඉන්න වනාන්තර ආශ්‍රිතව ජීවත් වන අපේ රටේ ගැමි ජනතාවට අලි එක්‌ක තියෙන ගනුදෙනුවේ එක පැත්තක්‌ තමයි ඒ....

සාධාරණව හිතන මතන කොට තමයි තේරෙන්නේ ප්‍රශ්නය තුළ තව පැත්තක්‌ තියෙන බව....... කැලේට අයිතිකාරයෝ වෙලා මේ මහ පොළොවේ තමන්ට රිසි ලෙස නිදහසේ ජීවත් වුණ මේ සද්ධන්තයන්ට අපේ මිනිස්‌සු කරන සතුරුකම් ගැන බලන කොට තමයි තේරෙන්නේ උන්ගේ හැසිරීම සාධාරණ බව..... ඇයි දෙයියනේ...... සංවර්ධනය කිය කියා උන්ගේ කැලේ ටික ටික අපි අල්ල ගන්න කොට උන් කියල කොහේ යන්නද......

අලි මිනිස්‌ ගැටුමේ හැටි ඔහොම තමයි..........

මම මේ කියන්න අර අඳින්නේ අලි මිනිස්‌ ගැටුමේ තියෙන අසුන්දර පැත්ත ගැන තවත් එක්‌ කතාවක්‌ නම් නෙවෙයි. පසුගිය දවසක අතරමංවෙලා කලබල වෙලා නගරයකට වැදුන වල් අලියෙක්‌ නිසා තව ඩිංගෙන් සිදුවන්න ගිය මහා විනාශයක්‌ ගැන කියන්න........

ඒක වුණේ පසුගිය 24 වැනිදා. තැන දෙහිඅත්තකණ්‌ඩිය නගරය. දෙහිඅත්තකණ්‌ඩිය කිව්වාම මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිසා නිර්මාණය වුණ නගරයක්‌ නේ. ... ඒ නගරය වටේට තිබුණේ මහවැලියේ වතුර අරන් දෙකන්නය හොඳට වගා දිගා කරගෙන යන සුවිසල් කුඹුරු. ඒ අතරේ ඔය සතා සිවුපාවාට නිදහසේ ජීවත් වෙන්නය කියල ඉතුරු කරාපු, රක්‍ෂිත වනාන්තර එහෙම ඇත්තේ නැතුවාමත් නොවෙයි............

ඒත් ඉතින් ඒ රක්‍ෂිතවල තියෙන කෑම වතුර සීමිත වුණාට ඒවයි ඉන්න අලි ඇත්තු කරන්නේ ඒ අවට තියෙන ගම්වලට වගාබිම්වලට පැනල තමන්ගේ අවශ්‍යතා සපුරා ගෙන ආපහු තම වාස භූමියට යන එක........

මෙන්න මෙහෙම එළි පහළියට බැස්‌ස අලියෙක්‌ තමයි පසුගිය 24 වැනිදා උදේ පාන්දර දෙහිඅත්තකණ්‌ඩිය නගරය දෙවනත් කළේ.......

මේ සද්ධන්තයා ඉස්‌සරවෙලාම ඇතුළු වුණේ දෙහිඅත්තකණ්‌ඩිය ජාතික පාසලට. එතකොට උදේ 7.45 ට විතර ඇති. එහෙම අත්දැකීමක්‌ මීට පෙර කිසිම දිනක ලබල නැති විදුහල්පති ශාන්තකුමාර හොඳටෝම කලබල වුණා. ඒ වෙලාවෙ ඉස්‌කෝලෙට ඔක්‌කොම ළමයි ඇතුල්වෙලා පාසල පටන් අරගෙන. මේ අහිංසක එක දරුවකුට හරි ඒ සද්ධන්තයාගෙන් අනතුරක්‌ සිදු වුණොත් ආයෙත් ඉතින් ඉඳල මොකටද...........

කලින් මෙහෙම අත්දැකීමක්‌ නොමැති විදුහල්පති. මුලින් කලබල වුණත් ගුරුවරුන්ගේ උදව් ඇතුව දරුවෝ ටික පසුව මෙහෙයවලා සංසුන් කර ගන්න ඔහුට හැකි වුණා. සද්ධන්තයා ජාතික පාසල් ක්‍රීඩාංගණය මැදින් හිමිහිට නගරයට ගිහින් බුදු පිළිමය හා මහවැලි ඇළ අතුරින් යබදව පිහිටි පුංචි වන ලැහැබකට ඇතුල් වුණා.

වල්අලියෙක්‌ පාසලට ආපු ආරංචිය ප්‍රදේශය පුරා පැතිර යන්න වැඩි වෙලාවක්‌ ගත වුණේ නැහැ. මිනිස්‌සු හතරවටින් මේ වල්අලියා බලන්න නගරයට ඇදී එන්න පටන් ගත්තා.

මෙවන් අත්දැකීමක්‌ දෙහිඅත්තකණ්‌ඩිය නගරයේ කිසිවකුට මීට පෙර ලැබිල තිබුණෙම නැහැ. දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියේ එවෙලේ වැඩ බලපු පොලිස්‌ පරීක්‍ෂක ජනක්‌ප්‍රිය මහතාත් සෙසු නිලධාරීනුත් සෙනඟ හසුරුවල ආපහු යවල අලියා ආපහු වනයට යනතුරු සංසුන් කරගන්න කොපමණ උත්සාහ කළත් ඵලක්‌ වුණේ නැහැ. ජනතාව මහත් කලබලයෙන් අලි බැලිල්ල පටන් ගත්තා. මේ හැසිරීමේ තියෙන භයානක බව ඔවුන් තේරුම් ගත් බවක්‌ පෙනුණේ නැහැ.

ඔවුන්ගේ මෙම අසංවර හැසිරීම නිසා සද්ධන්තයා තව තවත් කලබල වුණා. අන්තිමේ ඔහු නගරයට වැදී ඒ මේ අත දුවමින් පෙරළි කරන්නට පටන් ගත්තා. නගරයේ ගමන් කළ වාහන ජනතාව, පදිකයෝ මහත් කලබලයට පත්ව විපිලිසර වුණා. සමහරු තමන් ගමන් ගත් වාහන ත්‍රීවීලර් මෝටර් බයිසිකල් පාපැදි තැන තැන අතහැර දමා පණ බේරා ගන්න ආරක්‍ෂිත තැන් හොය හොයා දුව ගියා..........

අවසානයේ පොතන්ගල අඩවි වන සහකාර එම්. එම්. කරුණාරත්න, වනසත්ව නියාමක ගයාන් රත්නායක, මාදුරුඔය උද්‍යාන භාරකරු රවින්ද්‍ර කුමාර, මාදුරුඔය අඩවි වන සහකාරවරු වන ලයනල්, වීරසිංහ, ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් 35 දෙනෙක්‌ මේ සද්ධන්තයා වනයට යවන්න මහත් වෙහෙසක්‌ ගත්තා. පොලිසිය හා හමුදාව ඔවුන්ට මිලකළ නොහැකි සහායක්‌ ලබා දුන්නා.

එහෙත් මේ "මහා අලි රංගනය" බටහිර ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක ජවනිකා ලෙස දැකබලා ගන්නට පැමිණි ප්‍රදේශයේ ජනතාව නිසා "අලි එළවීම" සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. උදේ 8.00 පමණ සිට හවස 3.00 පමණ වනතුරු එකදිගට වතුර උගුරක්‌වත් නොමැතිව වෙහෙසෙන්න මේ නිලධාරීන්ට සිදු වුණේ ජනතාව ගේ අසංවර ක්‍රියා කලාපය නිසායි.

අන්තිමේ ජනතාවගේ අවහිරතා මැද මේ සද්ධන්තයාව ප්‍රධාන මාර්ගයට කොටුකර ගන්න මේ නිලධාරී පිරිසට හැකි වෙලා තිබුණා. අලියට මීටර් 10 ක්‌ පමණ දුරින් සිට දිගින් දිගටම ඌ දෙසට එක්‌ පසකින් "අලි වෙඩි" දැමූ නිලධාරීන් අලියා මෙල්ල කර ගත්තා. අලියා නැවත කලින් සිටි කුඩා වන ලැහැබටම පලාගියා.

ඉන් අනතුරුව නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාර මැද අලියා නැවතත් ජාතික පාසල දෙසට දිව ගියා. ජනතාව මේ සිදුවීම් සියල්ල සමඟ සිටීම නිසා වනජීවී නිලධාරීන්ට, පොලිසියට හා හමුදාවට ප්‍රශ්න ගණනාවකට විසඳුම් හොයන්නට සිදුවුණා.

ජාතික පාසල් ක්‍රීඩාංගණය තුළින් දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙසට දිවගිය අලියා ඒ අසල තිබූ සුදු පැහැති වනජීවී කැබ් රථයට පහරදී තල්ලු කර දැමුවා... ඒ රථය අසල සිටි නිලධාරීන් හා මාධ්‍යවේදීන් තුවාල ලැබුවා. සමහරු තම ජීවිත බේරාගනු ලැබුවේ අනූ නවයෙනි.

අවසානයේ අලියා පාසල් විද්‍යාගාරය දෙසට දිව ගියා. පාසලේ නේවාසිකව සිටින විදුහල්පති ඇතුළු ගුරු මඩුල්ලේ කිහිපදෙනා මෙහිදි දිවි බේරා ගත්තේ විද්‍යාගාර ගොඩනැඟිල්ලේ උඩුමහලට නැගීමෙනි.............

කෙසේ හෝ වනජීවී නිලධාරීන්ගේ අලි වෙඩි ප්‍රහාර මැද මහත් පෙරළියක්‌ කළ සද්ධන්තයා පරාජය බාරගත්තා.... පාසලේ පිට්‌ටනිය මැදින් පාරට පිවිසි ඌ අන්තිමේ ආපු පාරෙන්ම වනාන්තරය දෙසට ඇවිද ගියේ පැය 12 ක්‌ තිස්‌සේ මෙතෙක්‌ වේලා කළ කලබල අමතක කර දැමූ ලෙස..............

මෙම අලි මිනිස්‌ ගට්‌ටනයේදී වනජීවී නිලධාරීන් කිහිපදෙනකුත් මාධ්‍යවේදීන් කිහිපදෙනකුත් තුවාල ලබා තිබුණා. වාහන කිහිපයකුත් ගොඩනැඟිලි කොටස්‌වලටත් අලාභහානි වී තිබීමත් කැපී පෙනුණා.....

මේ ඔක්‌කොම කලබලවලට වගකිවයුත්තේa මේ සද්ධන්තයා පමණක්‌ ම නෙවෙයි. ....... සද්ධන්තයාගේ තරම නොදැන ඌ දෙස බලා විනෝද වන්නට පැමිණි පිරිස මේ කලබලයේ තවත් පාර්ශ්වයක කොටස්‌කරුවන් සේ කැපී පෙනුණා....

සිද්ධිය කොතරම් බරපතළ වුණත් සමහර අයට නම් එහි බියජනක බව වැටහී තිබුණේ නැහැ. අලි බලන්නට ආ පිරිස අතර බීමත්ව පොලිස්‌ නිලධාරීන්ට හා වනජීවී නිලධාරීන්ට බැණ වැදුන නොහික්‌මුණු පිරිසකුත් දැකගන්නට ලැබුණා....

සියල්ල මෙසේ තිබියදීත් ඉවසීමෙන් හා කැපවීමෙන් වතුර පොදක්‌වත් නෙමැතිව පැය 12 ක්‌ තිස්‌සේ අඛණ්‌ඩව මේ මෙහෙයුමට සහභාගි වු නිලධාරීන් නොවන්නට එදා මුළු දෙහිඅත්තකණ්‌ඩියම මළගෙයක්‌ වන්නටත් ඉඩ තිබුණා......

දෙහිඅත්තකණ්‌ඩිය වාර්තාකරු රණතුංග


http://www.divaina.com/2011/10/30/nimna01.html

No comments:

Post a Comment