Thursday, October 20, 2011

විදුලි බිල නැංවීමට කොමිසමට දන්වයි

අගෝස්‌තු මාසයේ දිනකට පාඩුව මිලියන 167ක්‌
විදුලි බිල නැංවීමට කොමිසමට දන්වයි
මිල වැඩි නොකළොත් මණ්‌ඩලය බංකොලොත් - ඇමැති කියයි


අජිත් අලහකෝන් - සිරිමන්ත රත්නසේකර

විදුලිබල මණ්‌ඩලය දිනෙන් දින අධික ලෙස පාඩු ලබන බැවින් විදුලි බිල වැඩි කිරීමට අයිතිය ඇති මහජන උපයෝගිතා කොමිසමට ඒ බව දැනුම් දුන් බව විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදුලිබල මණ්‌ඩලය පසුගිය අගෝස්‌තු මාසයේදී දිනකට පමණක්‌ රුපියල් මිලියන 167 ක පාඩුවක්‌ ලැබූ බව කී ඇමැතිවරයා විදුලි පාරිභෝගිකයෙක්‌ දිනකට රුපියල් තිස්‌ තුනක්‌ මණ්‌ඩලයට ණය බවද කීය.විදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලයට අයිතියක්‌ නැතැයිද එය සිදුකරන්නේ මහජන උපයෝගිතා කොමිසම බවද කී ඇමැතිවරයා විදුලිබල මණ්‌ඩලය පාඩු ලබන බව එම කොමිසමට දැනුම් දුන් බවද පැවසුවේය.

තාප විදුලිය නිෂ්පාදනය වැඩිවීම නිසා විදුලිබල මණ්‌ඩලයට සිදුවන අති විශාල පාඩුව පියවා ගැනීමට පියවර ගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව කී ඇමැතිවරයා තාප විදුලිය නිෂ්පාදනය නිසා විදුලිබල මණ්‌ඩලය ලබන පාඩුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම පියවරක්‌ නොගතහොත් ආයතනය බංකොලොත්වී කඩා වැටිය හැකි බවද කීය.

පවත්නා වියළි කාලගුණික තත්ත්වය නිසා පැය 24 ම විදුලිය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තාප විදුලිය යොදා ගැනීමට සිදුවන බවද ඒ සඳහා අධික මිලක්‌ වැය වන බැවින් එහි බිල ගෙවීමට මහජනයා සූදානම් විය යුතු බවද ඇමැති රණවක මහතා කීවේය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

http://www.divaina.com/2011/10/20/news01.html

No comments:

Post a Comment