ඒමන්ති මාරඹේ
කොළඹ නගරයේ අලෙවි කෙරෙන ආවරණයක් රහිත ඉඳිආප්ප, පිට්ටු, ආප්ප වැනි ආහාර වර්ග මින් ඉදිරියට නිෂ්පාදිත දිනය, වෙලාව සහිතව ඇසුරුම් කර අලෙවි කිරීම අනිවාර්යය කිරීමට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ යටතේ ඉඳි ආප්ප, පිට්ටු, ආප්ප, රොටි, සැන්ඩ්විචස්, කට්ලට්, රෝල්ස්, පැටිස් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කරන්නන් ඒවා ඇසුරුම් කර නිෂ්පාදිත දිනය/ වෙලාව සඳහන් කිරීම අනිවාර්යය බවත්, එම නිෂ්පාදන මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවත් කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයිනට" පැවසීය.
එසේ ලියාපදිංචි නොකර අදාළ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන නිෂ්පාදකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. බොහෝ ආහාර වර්ග ඇසුරුම් කිරීමෙන් පසු පරිභෝජනයට ගත හැක්කේ පැය 4-6 කාලයක් තුළ බව කී වෛද්‍ය කාරියවසම් මහතා දැනට එම ආහාර වර්ග ඇසුරුම් නොකර අලෙවි කිරීමෙන් දින කිහිපයක් වුව නීතිවිරෝධී අයුරින් කිසිවෙකුට නොදැනෙන සේ අලෙවි කිරීමට නිෂ්පාදකයාට ඉඩ ලැබී ඇතැයි අවධාරණය කළේය.
මෙම ආහාර නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන ඇසුරුම් කර කල් ඉකුත් වන දින, වෙලාව සඳහන් කිරීම පිළිබඳව ළඟදීම වැඩමුළුවක් පැවැත්වීමට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
දැනට කොළඹ නගරයේ අලෙවි කෙරෙන බත් පැකට් ලියාපදිංචි කර ඇති අයුරින්ම අදාළ ආහාර නිෂ්පාදන ලියාපදිංචි කර ඒවාට ලියාපදිංචි අංකයක් ලබාදීමට කටයුතු කරන බව වෛද්‍ය කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/10/20/news14.html
No comments:
Post a Comment