Sunday, October 30, 2011

අපේ ලූනු රසයි ඒත් මේ මිල නම් වසයි


කුණු වෙන්න යන ලූනු අස්වැන්න.....

"උන්ගේ වාසභූමියට බලෙන් ඇතුල් වෙලා ගහ කොළ කපා කොටා පුළුස්‌සා දමනවා. අක්‌කර ගණන් හේන් කොටනවා. අන්තිsමේ උන්ට ඉන්න තැනක්‌ නැතිව, කන්න දෙයක්‌ නැතිව අපේ ගම්මානවලට එනවා. කවුද වැරැද්ද කරන්නේ මිනිස්‌සු වන අපි නොවේද? ඒ අහිංසක සත්තු පළි නැහැ. මිනිස්‌සු වන අපි තමයි උන්ව වල්මත් කරන්නේ."

අලි-මිනිස්‌ ගැටුමේ යථාර්ථය එසේ අපට විස්‌තර කළ ඔහු සියඹලාකොළම ගොවිජන කේන්ද්‍රයේ කමිටු සභාපති පී. ඩී. රණසිංහය. ඔහු පදිංචිව සිටින්නේ ගලෙන්බිඳුණුවැව හද්ද පිටිසර ගම්මානයක්‌ වන තුලාව - ගල්වඩුවාගම ගම්මානයේය. කාලවර්ණයෙන් යුත් පුෂ්ටිමත් දේහයකින් හෙබි මැදි වයසේ සිටි රණසිංහ නැවත හඬ අවදි කළේය.

"එදත් මේ ගම්වල අපේ මුතුන් මිත්තන් හේන් වගා කළා. ඒත් මෙහෙම ඉවක්‌ බවක්‌ නැතිව අක්‌කර හත අටක ගස්‌ කොළන් එක පාර බිම හෙළුවේ නැහැ. සතුන්ට උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ තියලා අක්‌කරයක්‌ වගේ පොඩි ප්‍රමාණයක්‌ වගා කර ගත්තා. දැන් එහෙම නෙමෙයි තියෙන තණ්‌හාවට අක්‌කර ගණන් ගිනි තියනවා. ඒ මදිවට හොර ලී ජාවාරම්කාරයෝ කැලේ දෙවනත් කර ගස්‌ කපනවා. ඉතිං.. වල්මත් වූ සත්තු ගම්වදින එක නවත්වන්න පුළුවන්ද? මිනිස්‌සුන්ව මරනවා. ගෙවල් දොරවල් කුඩුපට්‌ට්‌ම් කරනවා. දහඩිය මහන්සියෙන් වගා කර උස්‌ වූ ගොවි බිම් විනාශ කරනවා. කරන්න දෙයක්‌ නැහැ. මේ ප්‍රශ්නයට වගකියන්න ඕනේ අපිම තමයි."

"බලන්න දැන් අපිට මාස හත අටකින් වැස්‌ස නැහැ. මිනිස්‌සු වගා බිම් හදාගෙන වහිනකම් බලා හිටියා. ඔන්න අද තමයි අහස කළු කරලා අහස හඬන්න පටන්ගත්තේ. බලන්න මිනිස්‌සු කොච්චර සන්තෝෂයෙන් අහස දිහා බලාගෙන ඉන්නවද කියලා. අපේ තාත්තලා සීයලා කියනවා ඉස්‌සර මේ ගම්වලට කොච්චර පෑවිල්ලක්‌ ඇල්ලුවත් වතුර තියෙනවා කියලා. දැන් තමයි පොඩි පෑවිල්ලටත් වතුර නැති වෙන්නේ. මේ දේශගුණ විපර්යාසයවලට ප්‍රධාන හේතුව මිනිස්‌සු කැලෑ එළිපෙහෙළි කරන එකයි. බිම වේළිලා දිය සීරාව නැති වෙනවා. අන්තිමේදී මිනිස්‌සුම අහසට දෙස්‌ දෙවොල් තියනවා." අලි-මිනිස්‌ ගැටුමට මෙන්ම දේශගුණ විපර්යාසයන්වලට වරදකරුවන් මිනිසුන් බව රණසිංහ ගොවි මහතා එසේ අපට පසක්‌ කළේ සංවර්ධනය වෙමින් පවතින ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වර්ථමාන තත්ත්වය දෑසින් දැකගැනීමට මෙන්ම, දෙකනින් අසා දැනගැනීමට අප ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට ගිය අතුරතුරදීය.

හත් අට මාසයක නියංසාය අවසන් බවට ඉඟි පළ කරයි. ඉහළ අහසේ හෙණ පුපුරා ගියේය. ඇස්‌ කපා යන විදුලිය ඈත අහසේ සිත්තම් මවා පෑය. හිරු බටහිර අහසේ ගිනි බෝලයක්‌ සේ වැහි වලාකුළු අතර සැඟ වී යයි. සීතල සුළඟට මහ තුරු මුදුන් සෙල වී එකිනෙක ගැටුණේය. හිරුගේ කඨෝර රශ්මියට පරඩෑලි වී ගිය තුරු වදුලු වැසි දියෙන් දෝවනය වීමට ඉසුමක්‌ නොමැති සේ අහස දෙස බලා සිටියි. ඈත අහසේ කුරුලු රෑන් නද දෙමින් වේගයෙන් අත්තටු ගසන්නේ මහ වැස්‌සක්‌ ළඟ එන බව කියාපාමින්ය. ඉඳිකටු වැසි පොදක්‌ වැටුණේය. නිවෙස්‌ තුළින් එළියට බට මිනිසුන් ප්‍රීති ප්‍රමෝදයෙන් ඉහළ අහස දෙස බලා සිටී. ගෙවී ගියේ විනාඩි ගණනකි. වැස්‌ස ප්‍රචණ්‌ඩ විය. මොරගෙඩි මෙන් වැහි බිඳු රණසිංහ ගොවි මහතාගේ නිවසේ තහඩු වහළ මතට කඩා හැලිණි. රණසිංහ ගොවි මහතාගේ හඬ තවමත් ගලා යයි.

කෘෂිකර්මාන්තය හා බැඳුණු ගල්වඩුවාගම, පරම්පරා කිහිපයකින් එහාට දිවෙන දිගු ඉතිහාසයකට උරුමකම් කියන ගම්මානයකි. මෙම ගම්මානයේ ඇති විශේෂත්වය වන්නේ ගමේ පවුල් සියල්ලම එකිනෙකට ඥතීන් වීමය. ගොවිකම රජකම ලෙස සැලකූ ගම්මානයේ මුතුන් මිත්තෝ 1956 වර්ෂයේදී ගම ඉහත්තෑවෙන් ගලා යන ඇළ හරස්‌ කර අමුණක්‌ බැඳ ගත්තෝය. පසුකාලීනව එය කාලයාගේ ඇවෑමෙන් විනාශ මුඛයට ඇදී ගියේය. පැවැති කිසිදු රජයක්‌ ගල්වඩුවාගම ගම්මානය දියුණු කිරීමට හෝ ගම්වාසීන්ගේ දිළිඳුකම තුරන් කිරීමට පෙරමුණ ගත්තේ නැත. ගල්වඩුවාගම ගම්මානය දිළිඳුකමේ පතුලට කි¹ බැස්‌සේය.

රෑ කළුවර දෝරෙ ගලා ගිය මූසල හැන්දෑවල වල්මත් වූ අලි ගම් වැදී ඇතැම් ගම්වාසීන්ගේ ජීවන කෙඳිරිය සදහටම නතර කළ අවස්‌ථා බොහෝය. පානීය ජල බිඳක්‌ සොයා මිනිස්‌සු බඹ ගණන් පොළොව යටට කැණීම් කළහ. එහෙත් ඔවුන්ට ජල උල්පත් තවත් දුර විය. එදා ඔවුන්ට පිපාසය නිවාගැනීමට ඇළවේලිවලින් ගලා යන ජලය අමුර්ථයක්‌ විය. එහි අඳුරු ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රදේශය පුරා වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මේ වන විටත් වකුගඩු රෝගීන් කිහිප දෙනෙක්‌ම තම ඥතීන්ගෙන් සමුගෙන ගොස්‌ අවසන්ය. පොල් අතු සෙවිලි කළ කටු මැටි පැල්පත්වල ජීවත් වූ ගල්වඩුවාගම ගම්වාසීහු වැසිකිළි ගැන දැන නොසිටියහ. හිමිදිරියේ බත් ගෙඩියක්‌ අතින් ගත් ඔවුහු තම මව්පියන් සමග හේනට ගාටති. නැති නම් කුඹුරට ගාටති. අඳුරත් අරගෙනම නිවසට ගොඩවන ඔවුන්ගේ ජීවිත තව තවත් අඳුරෙන් වැසී යමින් තිබිණි. එදා ගල්වඩුවාගම ගම්මානයේ ළමයි අධ්‍යාපනයේ වටිනාකම දැන නොසිටියහ. ඔවුහු අකුරක්‌ ඉගෙනීමට පාසලකට ගියේ නැත. ඇතැම් තරුණයෝ කඩපිල් අසල රංචු ගැසෙන්න පටන්ගත්තෝය. කසිප්පු තිප්පළවල් ගම් පුරා ව්‍යාප්ත වෙමින් ගමේ තරුණයෝ මත් රකුසාගේ ගොදුරු බවට පත් වෙමින් සිටියහ.

"ඔය වගේ කාලෙකදී තමයි වර්ල්ඩ් විෂන් මහත්වරු ගමට ඇවිත් ගමේ අඩුපාඩු ගැන ගම්මු සමග කතා කළේ. ගම දියුණු කිරීමේ වැඩපිළිවෙළේ පළමු පියවර හැටියට ඒගොල්ලෝ විනාශ වුණු ඇනිකට්‌ එක අලුත්වැඩියා කළා. ඒගොල්ලෝ මුදල් දුන්නා අපි මහන්සි වෙලා අමුණ ප්‍රතිසංස්‌කරණය කර ගත්තා. නැවත අපිට කුඹුරු ටික අස්‌වද්දන්න පුළුවන් වුණා. ඔය අතරතුර බඩඉරිඟු වගාව දියුණු කරන්න අලුත් බීජ හඳුන්වලා දුන්නා. මිනිස්‌සු එකදිගට බඩඉරිඟු වගා කරන්න පටන් ගත්තා. මිනිස්‌සුන්ගේ අතමිට සරු වෙන කොට දරුවන්ව පාසල්වලට යවන්න මව්පියෝ උනන්දු වුණා. රජයේ මහත්වරුත් අපේ ගම ගැන ඇස්‌ ඇරලා බැලුවේ ඒ කාලෙ තමයි. මේ කාලෙ අපේ ගම්වල ළමා සමාජ ඇති වෙලා තිබුණා. ඒ ළමා සමාජයක හිටපු අපේ දුවක්‌ ගමට ලයිට්‌ ඉල්ලලා විදුලිබල ඇමැතිවරයාට ලියුමක්‌ ලියුවා. ඒ ලියුම ළමා සමාජය හරහා "දිවයින" පත්තරේ පළ වුණා. ඒක දැකලා විදුලිබල ඇමැතිවරයා ගමට විදුලිය දෙන්න කටයුතු කළා. අපේ ගමට උඩින් විදුලි රැහැන් ඇදුණා. ගමට අලෝකය ලැබුණා." දිළිඳුකමේ පතුලේ එරී තිබූ ගල්වඩුවාගම ගම්මානයේ දියුණුව ගැන රණසිංහ ගොවි මහතා අප අභිමුව එසේ ආවර්ජනය කළේය.

ගල්වඩුවාගම හරහා විදුලි රැහැන් ඇදීමත් සමග ඝන අඳුරෙන් වෙළී තිබූ ගම්මානයට නව ජීවයක්‌ ලැබිණි. හේනට කොටු වී සිටි තරුණයෝ කලඑළියට පැමිණ ගම දියුණු කිරීමට අත්වැල් බැඳගත්හ. පළමුව ගමට එන ප්‍රධාන පාර හදාගැනීමට දේශපාලකයන්ගේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් ඔවුන් පසු පස ගියහ. එහෙත් මඩ වගුරක්‌ වූ පාර ගැන ඇහැක්‌ ඇර නොබැලූ දේශපාලුවන්ට දැනෙන්නට පාර මැද කෙසෙල් ගස්‌ සිටුවා උද්ඝෝෂණ කළහ. නමුදු ගල්වඩුවාගම පාරට තාර කෙසේ වෙතත් කොන්ක්‍රීට්‌ තට්‌ටුවක්‌වත් නොවැටිණි. ගම්මු ප්‍රදේශයේ දේශපාලකයන් ගැන කලකිරිණි. අවසානයේ ගමේ ජනතාව කතා බස්‌ කර ඒකමතික තීරණයකට පැමිණියහ. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයට ගමේ ජනතාව තෝරාගත් පොදු අපේක්‍ෂකයකුව ඉදිරිපත් කිරීමටය. ගමේ නියෝජිතයාට සියලුම ගම්වාසීහු තම ඡන්දය දීමටත් එකඟ වූහ. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ගල්වඩුවාගම ගම්මානයෙන් ඉදිරිපත් කළ ජනතා අපේක්‍ෂකයා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්‌ බවට තේරී පත් විය. එය අපේ රටේ ජනතාවට මහත් ආදර්ශයක්‌ වනවා නොඅනුමානය. මන්ද අවරගණයට යන අපේ දේශපාලනය නියම පීල්ලට ගැනීමට නම් අනිවාර්යයෙන්ම ගල්වඩුවාගම ගම්වාසීන් මෙන් සියලුම ශ්‍රී ලාංකිකයෝ එකා මෙන් අත්වැල් බැඳගත යුතු කාලය දැන් එළැඹී ඇති බව පුන පුනා මතක්‌ කිරීමට අවශ්‍ය නැත. සිදුවෙමින් තිබෙන දේශපාලන නරි නාටකවලින් එය මොනවට පැහැදිලිs ඇති.

බඩඉරිඟු වගාව, වී ගොවිතැන මෙන්ම එළවළු වගාවද ගලෙන්බිඳුණුවැව ගොවීහු දැන් සරුවටම කරති. මේ දිනවල ලූනු ගොවීන්ට සරුසාර අස්‌වැන්නක්‌ ලැබී තිබේ. සෑම නිවසක්‌ම පාහේ ලූනුවලින් පිරී ඉතිරිගොස්‌ය. එහෙත් ඔවුන්ගේ අවාසනාවකට දඹුල්ලේ ආර්ථික වෙළෙඳ මධ්‍යස්‌ථානයෙන් ඔවුන්ගේ ලූනුවලට සැලකිය යුතු මිලක්‌ ලබාදී නැත.

"ලූනු වගා කරන එක ලාභයි. අපිට තියෙන ප්‍රශ්නය නියම මිලක්‌ නැතිකමයි. අර බලන්න මහත්තයෝ තනිකරම ගේ ඇතුළේ ලූනු දාලා තියෙන්නෙ. තව දවසක්‌ දෙකක්‌ තිබුණොත් කුණු වෙලා යනවා. මොනව කරන්නද ඊළඟ කන්නයේ වගා කරන්න සල්ලි කොහොම හොයා ගන්නද? අපේ දහදිය මහන්සිය, සියලු සේසතම මේ පාර ලූනු වගා කරන්න යට කළා. ඉතිං මේ ටික විකුණ ගන්න බැරි වුණාම අපි ජීවත් වෙන්නේ කොහොමද? අනේ... අපිට වෙලා තියෙන නස්‌පැත්තිය ගැන ඔබතුමලාවත් රටට කියන්නකෝ."

"ලූනුවලට නියම මිලක්‌ තියෙනව නම් වීවලට වඩා ආදායම් හොඳයි. නමුත් අපේ ප්‍රධාන වගාව වී. දෙවනුව තමයි ලූනු බඩඉරිඟු වගා කරන්නේ. ඊට අමතරව වට්‌ටක්‌කා, තක්‌කාලි වගේ අතිරේක වගාවත් කරනවා. ඒ කාලේ අපි කළේ කුලී වැඩ. දැන් තමයි අපි ණය අරගෙන වගා කටයුතු කරන්නේ. රජයෙන් අපිට වගා කරන්න ඉඩම් දීලා තියෙනවා. අපිට දැන් සිමෙන්ති ගඩොලෙන් ගෙයක්‌ දොරක්‌ හදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ වගා කටයුතුවලට යොමු වුණු නිසයි. නමුත් දුක්‌මහන්සියෙන් වගා කර නෙළාගත් අස්‌වැන්න මේ විදිහට කුණු වෙලා ගියොත්, ණය ගෙවන්න මේ ගෙවල් දොරවල් විකුණන්න වෙනවා." පුෂ්ප කුමාර තරුණ ගොවි මහතා ඔවුන්ගේ දුක්‌ගැනවිල්ල රටට කියන්නයි කියා අපට පැවසීය.

ජීවිතය ජීවත් කරවීමටම පමණක්‌ නොව, ඔවුන් ජීවිතය ජයගන්නට වෙර වෑයම් කරන දිරිය මිනිසුන්ය. කටුමැටි පැල්පත සිමෙන්ති ගඩොලෙන් තනාගැනීමට තරම් දැන් ඔවුහු වත්පොහොසත් වී සිටිති. අකුරු සාස්‌තරයෙන් පෝෂණය නොවූ ඔවුහු අද තම දරුවන්ව විශ්වවිද්‍යාලවලට යෑවීමට සමත් වී ඇත. ඔවුන්ගේ ජීවිතවල සියලු දේ තීරණය වන්නේ වගා අස්‌වැන්න මතය. එමෙන්ම අස්‌වැන්නට ලැබෙන මිල මතය. එසේ නම් ඔවුන්ගේ මෙවර ලූනු අස්‌වැන්න කුණු කූඩයට වැටුණහොත් ඔවුන්ගේ ජීවිතවල ඇති වන පෙරළිය කෙසේ වේද?

තරංග රත්නවීර



http://www.divaina.com/2011/10/30/feature05.html

No comments:

Post a Comment