Wednesday, October 26, 2011

නිර්වින්දනය කළ වල් අලියා අසාධ්‍ය තත්ත්වයෙන් ඇද වැටේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුරය ශ්‍රාවස්‌තිපුර, මොරගොඩ, තලාව හා උළුක්‌කුලම ඇතුළු ප්‍රදේශ රැසක මිනිස්‌ ජීවිත බිලිගනිමින් ජනතාව භීතියට පත් කරමින් සැරි සැරූ බවට සැකකෙරෙන වෙඩි ප්‍රහාරවලට ලක්‌ව බරපතළ තුවාල ලබා සිටියදී වනෝද්‍යානයකට මුදා හැරීමේ අරමුණින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට දින කීපයකට පෙර ශ්‍රාවස්‌තිපුර වදාකඩ ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් වල් අලියකු, ඉන් අනතුරුව රෝගාතුරවීම නිසා එම අලියා අල්ලා ගත් ස්‌ථානයේම අසාධ්‍යව වැටී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.



ශ්‍රාවස්‌තිපුර, තලාව, මොරගොඩ හා උළුක්‌කුලම ඇතුළු ඒ අවට ගම්මානවල පදිංචි ජනතාව විසින් කළ ඉල්ලීමකට අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රාවස්‌තිපුර වදාකඩ වැව ඉස්‌මත්තේදී නිර්වින්දනය කොට ඉකුත් 19 වැනිදා ඌ අල්ලාගනු ලැබිණි.

එම වල් අලියා තමන් විසින් අල්ලා ගන්නා අවස්‌ථාව වන විටත් උගේ ශරීරය පුරා බරපතළ තුවාල රැසක්‌ දක්‌නට ලැබුණු බව වනජීවී නිලධාරීහු පැවැසූහ.

උගේ ගෙළ ප්‍රදේශයට එල්ල කොට තිබූ වෙඩි ප්‍රහාරයකින් සිදුවී තිබෙන තුවාලය දරුණු තත්ත්වයක පැවැතීම නිසා එම තුවාලයට හා ශරීරය පුරා පවතින අනිකුත් තුවාලවලට ප්‍රතිකාර කොට අල්ලා ගත් දිනට පසුදින අලියා වනෝද්‍යානයකට රැගෙන යැමට කටයුතු සූදානම් කළත් ඒ වන විට අලියාට උණ ගැනී අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් රැගෙන යැම ප්‍රමාද කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

එම අලියාගේ රෝගී තත්ත්වය දිනෙන් දින අසාධ්‍ය වීම හේතුවෙන් ඌ අල්ලා ගත් අවස්‌ථාවේ බඳින ලද රැහැන් ගලවා ඉවත් කොට ඇතිමුත් ඇවිදයාගත නොහැකි වීමෙන් එම ස්‌ථානයේම අසරණව ඇද වැටී සිටී.

මේ වන විට අලියාට වදාකඩ ගම්වාසීන් විසින් කෑම බීම සපයා දෙනු ලබන අතර ඌ පත්ව සිටින තත්ත්වය යටතේ නැවත සුව කිරීම සැක සහිත බවද වනජීවී නිලධාරීහු පවසති.


http://www.divaina.com/2011/10/26/provin04.html

No comments:

Post a Comment