Friday, October 28, 2011

අතිරේක බෝග වවන්නන්ට රජයෙන් තල්ලුවක්

යල-මහ දෙකන්නයට අමතරව තවත් අතිරේක කන්නයක්
- ඇමැති මහින්ද යාපා කියයි

මාතර විශේෂ – ජයා වික්‍රම සුරේන්ද්‍ර

දිවයිනේ ක්‍රියාත්මක වන යල මහ දෙකන්නයට අමතරව ප්‍රථම වරට අතරමැදි කන්නයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම සංවර්ධන ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා කීයයි.

විශේෂයෙන් අතරමැදි කන්නයේදී වගා කෙරෙනුයේ මුං ඇට, කව්පි, කුරක්කන් හා උඳු වැනි අතිරේක බෝග ආහාර ද්‍රව්‍යයන් ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අතිරේක ආහාර බෝගවල ආනයන බද්ද ද වැඩි කෙරේ. ඒ අනුව මෙම අතිරේක බෝග වගා කටයුතුවල යෙදෙන දේශීය ගොවියාගේ ආර්ථිකය ඉහළ නැංවීම එහි අරමුණය. වැඩි වැඩියෙන් අතිරේක බෝග වගාවට උනන්දුවක් දක්වන ගොවීන්ට අවශ්‍ය බීජ, පොහොර ඇතුළත් වෙනත් පහසුකම් ද සැපයෙනු ඇත. අතිරේක බෝග ද්‍රව්‍ය සාධාරණ මිල ගණන්වලට තොග වශයෙන් අලෙවි කර ගැනීමටද කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත් වනු ඇත.

වාර්ෂිකව මුං ඇට මෙට්රික් ටොන් 15,000ක් පමණ ආනයනය කෙරේ. මෙම වසරේ මෙට්රික් ටොන් 7500ක් පමණ නිෂ්පාදනය කිරීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් සමත්වී ඇත. ඒ අනුව දිවයිනේ පරිභෝජනයට අවශ්‍ය මුං ඇට ප්‍රමාණයෙන් සියයට පනහක් පමණ නිෂ්පාදනය කිරීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් සමත්වීම කෘෂි ආර්ථිකයේ ඉදිරි පියවරක් බවද, එතරම් වැඩි වියදමක් නොමැතිව මුං ඇට වගාවෙන් වැඩි ආදායමක් ලැබිය හැකි බවද, මහින්ද යාපා අබේවර්ධන ඇමතිවරයා අවධාරණය කරයි.

මහින්ද රාජපක්‍ෂ ජනපති තුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක “අපි වවමු රට නගමු” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතිරේක බෝග, එළවළු හා පලතුරු වගා කටයුතු සඳහා වැඩි වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් හැරගොස් රැකියා නොමැතිව සිටින තරුණ තරුණියන් ඉදිරිපත්වීම කැපීපෙනෙන සිද්ධියකි.

http://www.dinamina.lk/2011/10/28/_art.asp?fn=p1110287

No comments:

Post a Comment