Saturday, October 29, 2011

ශ්‍රී ලංකාවේ විවාහක කතුන් 1000 කගෙන් 11 දෙනකු ගබ්සා කිරීම් සිදුකර ගන්නවා

- පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දීප්ති පෙරේරා කියයි

ඒමන්ති මාරඹේ

දරුවන් බිහිකරන වයස්‌වල සිටින මෙරට විවාහක කාන්තාවන් 1000 ක්‌ ගත් විට ඔවුන්ගෙන් 11 දෙනකු පමණ ගබ්සාවන් සිදුකර ගන්නා බව අනාවරණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

මෙම ගබ්සාවන් අනාරක්‍ෂිත ඒවා බව අනාවරණය වී තිබේ. මෙම අනාරක්‍ෂිත ගබ්සාවන් වැළැක්‌වීම සඳහා නීති ගෙන ඒමේදී සෞඛ්‍ය රොගුලාසි සම්බන්ධ විමර්ශනයක්‌ ද එයට ඇතුළත් කළ යුතු බව ඇය කීවාය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සමීක්‍ෂණ දත්තයන්ට අනුව සියයට 10 ත් 14 ත් අතර තරුණියන් සංඛ්‍යාවක්‌ ලිංගික අපයෝජනයට ලක්‌වන අතර නව යෞවන වියෙහි පසුවන ගැහැනු ළමුන්ගෙන් සියයට 7 ක්‌ ගැබ් ගැනීම්වලට ලක්‌වන බව අනාවරණය වී තිබේ.

මෙම ඔක්‌තෝබර් 31 වැනිදා වන විට ලෝක ජනගහනය බිලියන 7 ක්‌ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනගහන සංවිධානය හා එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පෙරේදා (27 දා) කොළඹ ගෝල්ෙµaස්‌ හෝටලයේ පැවැත්වූ ජනගහනය පිළිබඳ වැඩමුළුව අමතමින් වෛද්‍ය පෙරේරා මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.

මෙහිදී එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් 2011 ලෝක ජනගහන වාර්තාව ද එළිදැක්‌වීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරටින් වාර්ෂිකව 60,000 ක්‌ දෙනා ලිංගාශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වන බව හඳුනාගෙන ඇතැයි කීවාය. මෙම රෝගාබාධ ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක්‌ වන අතර මද සරු බව ඇති කරන ප්‍රධාන සාධකයක්‌ ද වන බව ඇය සඳහන් කළාය.

මෙම ජනගහන වැඩමුළුව අමතා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියාතික කලාපයේ හිටපු උපදේශිකා සෝමා ද සිල්වා, පියුම් පෙරේරා, ආචාර්ය ස්‌වර්ණා උක්‌වත්ත, ශ්‍රී ලංකාවේ සිටින එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නේවාසික නියෝජිත ලීන් කේ. ක්‍රිස්‌ටියන්සන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2011/10/29/news21.html

No comments:

Post a Comment