Saturday, October 29, 2011

හම්බන්තොට ඇතැම් හාල්මෝල් හිමියන්ගේ කූට ජාවාරම්වලින් ගොවීන්ට හා පාරිභෝගිකයන්ට දැඩි පීඩා

ලුණුගම්වෙහෙර - තලල්ලේ ප්‍රඥරත්න විදානගමාච්චි

හම්බන්තොට දිසාවේ සහල් මෝල් හිමියන් විසින් සිරිත් පරිදි යල මහ ගොයම් කපා අවසන් වීමත් සමගම වී මිල පහත දැමීමත් ගොවීන් ළඟ වී තොග අවසන aවීමත් සමගම සහල් මිල දිනපතා ඉහළ දැමීමත් මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටිති.

කුඹුරු කපා ගොවීන් ළඟ වී තොග රැස්‌කරගෙන ඇති අවස්‌ථාවල වී මිල පහත වැටී ඇති බවත් එනිසා වැඩි මිලක්‌ ගෙවීමට නොහැකි බවත් පවසා එම දින කීපයට පමණක්‌ සහල් මිල අඩු කරනු ලබන සහල් මෝල් හිමියන් ගොවීන්ගෙන් ඉතා අඩු මිලට වී ලබාගෙන වී තොග අවසන් වූ වහාම නැවතත් සහල් මිල වැඩිකරමින් ඉතාමත් අසාධාරණ ලෙස මුදල් උපයමින් පාරිභෝගික ජනතාව දැඩි පීඩනයකට පත්කරමින් සිටිති.

කුඹුරු කපා අවසන් වීමට ආසන්න වෙද්දී බැංකු මගින් සහල් මෝල් හිමියනට ඉතාමත් අඩු පොලියට දෙන මුදල් වලින් මෝල් හිමියන් එම මුදල් කුඹුරු ගොවීන් සහ පාරිභෝගික ජනතාවත් ගසාකෑ බව ප්‍රදේශයේ ගොවීහු පවසති.

පසුගිය මාසය තුළ ඉතාමත් අඩු මුදලට වී තොග ලබාගත් පෞද්ගලික සහල් මෝල් හිමියන් මේ වන විට දිනකට රුපියල බැගින් සහල් කිලෝවක මිල වැඩිකරමින් සිටිති. පසුගිය දින කීපය තුළ රුපියල් 40, 42 ට අලෙවි කළ සහල් කිලෝව මේ වන විට රුපියල් 48, 50 ත් අතර මිලකට අලෙවි කරමින් පොදු ජනතාව සූරාකෑමට සහල් මෝල් හිමියන් කටයුතු කරමින් සිටිති.

කුඹුරු ගොවීන්ටද වී තොග රැස්‌කර තබා ගැනීම සඳහා රජය මගින් ගොවියාට සහන පොලියට බැංකු ණය ලබාදෙන්නේ නම් එමගින් ගොවියාත් පාරිභෝගිකයාත් තැරැව්කරුවන්ගේ ග්‍රහණයෙන් බේරී කටයුතු කිරීමට හැකියාව ඇති බවත් ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් කීප දෙනෙක්‌ම "දිවයින" ට ප්‍රකාශ කළහ. සහල් මෝල් හිමියන්ගෙන් වී ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කර ගැනීම සඳහා බැංකු වලින් සහල් මෝල් හිමියනට ලබාදෙන අඩු පොලී ණය මුදල් ප්‍රදානය සාමාන්‍යය ගොවි ජනතාවට ලබාදීම කෙරෙහි රජයේ සැලකිල්ල වහාම යොමුවිය යුතු බවද ප්‍රදේශයේ ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන් රැසක්‌ද තවදුරටත් "දිවයින" ට ප්‍රකාශ කළේය.

http://www.divaina.com/2011/10/29/provin02.html

No comments:

Post a Comment