Thursday, October 27, 2011

බියගම ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක් අද-හෙටම වැසී යන ලකුණු

සේවක-සේවිකාවෝ 500කට රැකියා අහිමිවීමේ තර්ජනයක්

මල්වාන සමූහ – මහානාම විතානගේ


රැකියා අහිමිවීමේ තර්ජනයට මුහුණපා සිටින ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවෝ.
ඡායාරූපය – මල්වාන සමූහ


බියගම නිදහස් වෙළෙඳ කලාපයේ දෙවන අදියරේ තිබෙන ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක් හිටි අඩියේ වසා දැමීමට ගෙන තිබෙන තීරණය නිසා එහි සේවය කරන සේවක සේවිකාවෝ පන්සීයකට අධික පිරිසකට රැකියා අහිමි වී යාමේ තර්ජනයකට මුහුණපා සිටිති.

දැනට මේ ආයතනයේ උද්ගත වී තිබෙන මේ තත්ත්වය සම්බන්ධව එහි සේවක සේවිකාවන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා වට කීපයක්ම පවත්වා ඇතත් තවම එයට නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඔව්හු පවසති.

මේ ආයතනය වසා දැමීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලබන්නේ සේවක සේවිකාවන්ට ගෙවිය යුතු සියලුම දීමනා ගෙවීමට පාලනාධිකාරිය එකඟ වන්නේ නම් පමණක් වන බව ද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “දිනමිණ” ට කීය.

ආයතනය ලබන 30 වන දින වසා දමන බවට පාලනාධිකාරිය මගින් සේවක සේවිකාවන්ට දන්වා තිබෙන්නේ ඉකුත් 18 වැනිදාය. මෙය 1988 වසරේදී දේශීය හා විදේශීය ආයෝජකයන් විසින් ආරම්භ කොට පුරා වසර 23ක් තිස්සේ මෙතෙක් පවත්වාගෙන ආ ආයතනයකි.

මේ සේවක සේවිකාවන් විසින් දැනටමත් මේ සම්බන්ධව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා හා බියගම ශ්‍රී. ල. නි. පක්‍ෂ ප්‍රධාන සංවිධායක ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර යන මහත්වරුන්ට දන්වා තිබේ. මේ ආයතනය වසා දමන්නේ නම් තමන්ට සාධාරණ වන්දි මුදලක් හා හිමිවිය යුතු සියලුම දීමනාවන් ලබා දෙන ලෙසට ද ඔව්හු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

බියගම එ. ජා. පක්‍ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ද පසුගිය සිකුරාදා (21 දා) එම ආයතනයට පැමිණ සේවක සේවිකාවන් හමු වී එහි උද්ගත වී තිබෙන තත්ත්වය සාකච්ඡා කෙළේය.

http://www.dinamina.lk/2011/10/27/_art.asp?fn=r1110271

No comments:

Post a Comment