Tuesday, August 30, 2011

අක්‌කර 100 කට වැඩි ප්‍රමාණයක්‌ හේන් වගාවට එළි පෙහෙළි කිරීමෙන් විල්පත්තු වනෝද්‍යානයට දැඩි තර්ජන

අක්‌කර 100 කට වැඩි භූමි ප්‍රමාණයක්‌ හේන් වගාව සඳහා එළි කිරීමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දැඩි තර්ජනයකට ලක්‌ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්‍ෂිත කලාපය එහි සීමාවේ සිට සැතපුමක දුරින් යුක්‌තය. එය වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥ පනතින්ද පිළිගෙන ඇත. ඒ අනුව මෙම ආරක්‍ෂක කලාපයට ඇතුළු වීමට වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිත අවසරය ලබාගත යුතුය.

එහෙත් මෙම තත්ත්වයන් නොසලකා හරිමින් එම ආරක්‍ෂක ප්‍රදේශයට අයත් සිවලාපිටිය, නිට්‌ටිකුලම, හොරවල කදුරුපිටිය, කැබැල්ලෑපීනුවල, කුකුල්කටුව, කෝන්නෑගම, දංගොල්ලෑගම, කුඩා වැව හා ඇහැටුවාගම යන ප්‍රදේශවල අක්‌කර 100 කට වැඩි ප්‍රමාණයක්‌ මේ වන විට එළි පෙහෙළි කර ගිනි තබා තිබේ. මෙම ආරක්‍ෂිත කලාපයේ ජෛව විවිධත්වයට මේ නිසා දැඩි තර්ජන එල්ල වී තිබේ. වසර සිය ගණනක්‌ පැරැණි පලු, වීර, බුරුත හා කොහොඹ වැනි ශාක ද මෙසේ කපා දමා ඇත.

අලි මිනිස්‌ ගැටුම උග්‍රව පවතින වයඹ වනජීවී කලාපය තුළ පිහිටි, සුවිශේෂී වටිනාකමකින් යුක්‌ත ජාතික උද්‍යානයක ආරක්‍ෂිත ප්‍රදේශය මෙසේ කපා ඉවත් කිරීමට ඉඩදී බලධාරීන් මුනිවත රැකීම බරපතළ ගැටලුවකි. මෙසේ ආරක්‍ෂිත ප්‍රදේශය කපා ඉවත් කරමින් සිටි පුද්ගලයන් 7 දෙනකුට මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව මගින් නඩු පවරා තිබේ. එහෙත් පසුගිය දිනක අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනකු අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකු බලපෑම් කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියකු අප සමග පැවසීය. මේ නිසාම එම සැකකරුවන් වනජීවී ඇප මත නිදහස්‌ කළද උසාවියට ඉදිරිපත් කිරීමට වනජීවී නිලධාරීන්ට නොහැකිව තිබේ.

මේ පිළිබඳව අප කළ විමසුමට පිළිතුරු වනජීවී හා ගොවිජන සේවා අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ ගොවීන් විසින් හෙළිකර ඇති ප්‍රදේශය විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත්ද නැද්ද යන්න පිළිබඳ ගැටලුවක්‌ පවතින බවයි. මේ නිසා එහි සීමා මායිම් ලකුණු කොට වනජීවීන්ට වනෝද්‍යානයට හා ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සටහන හා ඡායාරූප
සුබසිංහ බණ්‌ඩාර - කරුවලගස්‌වැව

http://www.divaina.com/2011/08/30/provin03.html

No comments:

Post a Comment