Sunday, August 28, 2011

කොළොන්නාවේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

කීට විද්‍යා සමීක්‍ෂණයකින් හෙළිවෙයි

කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන

කීට විද්‍යා සමීක්‍ෂණ අනුව කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මේ වන විටත් ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බව ද, මේ වසරේ ජූලි මාසයට සාපේක්‍ෂව බලන විට මේ මාසයේ මුල් සතිය ඇතුළත එම තත්ත්වයේ කිසිදු වෙනසක් ඇතිවී තිබෙන බවක්, පෙනෙන්නට තිබුණේ නැති බව ද කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වසන්ත වික්‍රමතිලක මහතා පැවැසීය. ඔහු පවසන අන්දමට 2010 ජූනි මාසයේ සිට 2011 ජූලි මාසය දක්වා වූ කාලය අතරතුර රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වී තිබුණේ මේ අන්දමටය.

කොළොන්නාව 33 – 83, මීතොටමුල්ල 14 – 50, ගජබාපුර 06 – 22, දහම්පුර 15 – 36, කුරුණියාවත්ත 03 – 09, වැල්ලම්පිටිය 14 – 18, විජයපුර 01 – 05, සේදවත්ත 11 – 22 හා වදුල්ලවත්ත 04 – 15 වශයෙනි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙන්වා දෙන ආකාරයට මේ ප්‍රදේශවල ජලාශි‍්‍රත පහත්බිම් ප්‍රමාණය වැඩිවීම රෝගකාරක මදුරුවන් බෝවීමට එක් හේතුවක් වී තිබේ. මීතොටමුල්ල හා සේදවත්ත ප්‍රදේශවල අක්‍රමවත්ව කසළ ගොඩගැසීම මෙන්ම කොළොන්නාව ඛනිජ තෙල් සංස්ථා භූමිය, රජයේ කර්මාන්ත ශාලාව හා කොළොන්නාවේ පිහිටි ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වැනි ස්ථානවල පවතින අබිලි ද්‍රව්‍ය හා සුන්බුන් ක්‍රමවත්ව ඉවත් නොකොට ගොඩගසා තිබීම තවත් හේතුවක් වන බවය.

රෝගය බෝවීම වළකා ගැනීම සඳහා අදාළ ආයතන දැනුවත් කෙරෙන වැඩපිළිවෙළ රැසක් තම කාර්යාලය මගින් දැනටමත් ආරම්භ කොට ඇතැයි ද වික්‍රමතිලක මහතා කීවේය.


http://www.dinamina.lk/2011/08/27/_art.asp?fn=r1108276

No comments:

Post a Comment