Wednesday, August 17, 2011

බත් පැකට්‌ ලියාපදිංචියෙනුත් මුදල් ගසා කෑමක්‌

ඒමන්ති මාරඹේ

බත් පැකට්‌ වෙළෙඳපළට නිකුත් කරන ආයතන හා පුද්ගලයන් නොමිලයේ ලියාපදිංචි කළ යුතු වුවද ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විවිධ මිල ගණන් නියම කරමින් ඔවුන්ගෙන් මුදල් අය කර ගන්නා බවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ නගරයෙන් පිට ප්‍රදේශවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මෙසේ මුදල් අය කර ගන්නා බවත් බත් පැකට්‌ වෙළෙඳපළට නිකුත් කරන්නන් ලියාපදිංචි කිරීම සිදුකරනුයේ නොමිලයේ වීම නිසා එසේ මුදල් ගෙවීම අනවශ්‍ය බවත් කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින" ට පැවැසීය.

බත් පැකට්‌ වෙළෙඳපළට නිකුත් කරන ආයතන හා පුද්ගලයන් 335 දෙනකු මේ වන විට ලියාපදිංචිය සඳහා ඉල්ලුම්කර ඇති අතර 18 දෙනකුට මේ වන විට ලියාපදිංචිය ලබාදී ලියාපදිංචි කාඩ්පතක්‌ නිකුත් කර ඇතැයිද වෛද්‍ය කාරියවසම් කීවේය.

මෙසේ ලියාපදිංචිය ලබා ගන්නා බත් පැකට්‌ වෙළෙඳපළට නිකුත් කරන්නන් සඳහා විශේෂ හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමටද කටයුතු යොදා ඇතැයි හෙතෙම සඳහන් කළේය. ලියාපදිංචිය ලබාගන්නා බත් පැකට්‌ නිෂ්පාදකයන් බත් පැකට්‌වල තම ලියාපදිංචි අංකය සඳහන් කිරීමත් බත් පැකට්‌ පාර්සල් කළ වේලාව, ආයතනයේ හෝ පුද්ගලයාගේ නම, ලිපිනය හා දුරකථන අංක සඳහන් කිරීම අනිවාර්යය කර තිබේ.



http://www.divaina.com/2011/08/17/news09.html

No comments:

Post a Comment