Wednesday, August 24, 2011

නමුණුකුල රක්ෂිතයේ පරිසර හානිය උග්‍රයි

පතන් බිම් සහ ලඳු කැලෑවලට ගිනි තැබීමෙන් ජල පෝෂක සිඳිලා
නමුණුකුල කඳුවැටිය හා ඒ ආශ්‍රිත වන රක්ෂිතය මෑත කාලයක සිට විවිධ පාරිසරික ව්‍යසනයන්ට ගොදුරුවීමට පටන් ගෙන ඇත. විශේෂයෙන් රක්ෂිතය අවට ඇති පතන් බිම් හා ලදු කැලෑ ඇතැම් පිරිස් විසින් ගිනි තැබීමට පටන් ගැනීමෙන් වන රක්ෂිතයට බරපතළ හානි සිදුවී තිබේ.

මේ විනාශකාරී තත්ත්වය ගැන ඌව අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක මිරියබැද්දේ උපනන්ද නාහිමියෝ මෙසේ කීහ.

ගිනි තබා විනාශ කළ පතන් බිම් ප්‍රදේශයක්

අපි උපන්නෙත් මේ ප්‍රදේශයේමයි. ඒ දවස්වල මේ නමුණුකුල රක්ෂිතය බොහෝ පිරිස් හොඳින් ආරක්ෂා කළා. නමුත් අද වනවිට ඊට යම් යම් අහිතකර බලපෑම් එල්ලවීමට පටන් ගෙන තිබෙනවා. කිසිම බරපතළකමක් ගැන නොසිතා සමහරු ඊට යාබදව පිහිටි පතන් බිම්වලට උදේ හවස ගිනි තබනවා. යම් විදියකින් එයින් නැගෙන ගිනි වනයට පැතිරුණොත් අක්කර හත්සියය ගණනකට ආසන්න ප්‍රමාණයක් වූ නමුණුකුල රක්ෂිතයට දැඩි සේ හානි සිදුවෙනවා. ඒ නිසා, මෙවැනි දේ සිදුකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීම යෝග්‍යයයි.

පාඨශාලාචාර්ය, ඩබ්ලිව්. ඇම්. චන්දන මහතා, පරිසරයට ආදරය කරන මිනිසුන් අඩුයි. හැමෝම කොන්ක්‍රීට් පුරවරවලට වෙලා එය සැපත යැයි සිතා කටයුතු කරනවා. නමුත් රටක පැවැත්ම ඇති වන්නේ සොබාදහමේ පිහිටෙන් බව ඒ අය හිතන්නේ නෑ. කෙසේ වුවත් මේ පතන්බිම් සහ ලඳුකැල ගිනි තැබීම වාහම නතර කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් නමුණුකුල රක්ෂිතය අවට කඳුරට හොඳ දියබෙත්මක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. බදුලු ඔය ලොග්ගල්ලාඔය සහ මැණික් ගඟ මේ රක්ෂිතය තුළින් ආරම්භ වෙනවා. පෝෂක ප්‍රදේශ පතන් බිම් ආශ්‍රිතව තිබෙනවා. අද මේ ගංගා සිඳී යන තත්ත්වයට පත්වෙලා.

පස්සර ජල උල්පත් රැකගැනීමේ සංවිධානයේ සභාපති කේ. පී. ආර්. පියසේන මහතා - නමුණුකුල කඳුවැටිය පමණක් නොව ප්‍රදේශයේ පතන් හා වනාන්තර වැඩි ප්‍රමාණයක් මේ වනවිට ගිනි තබල විනාශ කරලා. සතුන් දඩයමට විනෝදෙට මෙහෙම වැඩ කරන බව කීවත් සමහරු මානසික රෝගීන් ලෙසයි මේ විදියට හැසිරෙන්නේ.


සටහන හා ඡායාරූපය - පස්සර සමුහ උබයරත්න වනසිංහ

http://www.dinamina.lk/2011/08/24/_art.asp?fn=r1108246

No comments:

Post a Comment