Sunday, August 21, 2011

පිටි-තෙල්-ලුණු- සීනි වැඩිනම් පාසල් කැන්ටිමේ කෑම තහනම්

නිහාල් පී. අබේසිංහ
මින් ඉදිරියට පාසල් ආපනශාලාවල පාන් පිටි මිශ්‍ර ආහාර, අධික මේද සහිත ආහාර, අධික සීනි සහිත ආහාර, අධික ලුණු සහිත ආහාර විකිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ සමඟම සහල් පිටි මිශ්‍ර ආහාර, එළවුළු, කිරි පළතුරු බීම ජනපි‍්‍රය කරවීමට උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශය මඟින් මෙහෙයවන මේ වැඩ සටහන යටතේ සියලු උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍ර ලේඛයක් මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන්ට දන්වා ඇත.

පාසල් දූ දරුවන් සියලු දෙනා දැන උගත් නිරෝගී ක්‍රියාශීලි දරු පරපුරක් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

අපේ රටේ සිසු පරපුර පාන් පිටි මිශ්‍ර ආහාර, තෙල් අධික ආහාර, ලුණු හා සීනි බහුල ආහාර ගැනීමෙන් ස්ථුලතාව, තරබාරුකම, දන්ත රෝග, අස්ථි දුර්වල වීම, හෘද රෝග, දියවැඩියාව හා පිළිකා වැනි පෝෂණය ආශි‍්‍රත රෝග රැසකට යොමුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය පවසන්නීය. හාල් පිටි මිශ්‍ර ආහාර ගැනීම මඟින් පාන් පිටි මිශ්‍ර ආහාර ගැනීමට වඩා සෞඛ්‍යමය නිරෝගි ඥානවන්ත මතක ශක්තිය වැඩි සිසු පරපුරක් බිහිවන බව අලුත් සමීක්ෂණයක් මඟින් පැහැදිලිව ඔප්පු කර ඇතැයි ඇය පැවැසුවාය.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ වැඩ පිළිවෙළ අනුව ලබන වසරේ ආපනශාලා ටෙන්ඩර් ප්‍රදානය කරන විට මේ නීතිරීති අනුගමනය කිරීමට පොරොන්දු වන අයට පමණක් ආපන ශාලා ටෙන්ඩර් ප්‍රදානය කරන බවත් රේණුකා පීරිස් මහත්මිය පවසයි.

මේ යටතේ පාන් පිටිවලින් සෑදු පාන්, බනිස්, වියන් රෝල්, පැටිස්, බිස්කට්, මාළු පාන්, රොටි අලෙවි කිරීම තහනම් කර ඇත.

මීට අමතරව ගැඹුරු තෙලේ බදින ලද ආහාර (රෝල්ස් - කට්ලස්) ආදිය මේද අධික ආහාර (සොසේජස් පේස්ට්‍රි), අධික සීනි සහිත ආහාර, අයිස් පලම්, චොක්ලට්, චොක්ලට් දවටන ආහාර ද අලෙවියෙන් වළකින ලෙස පාසල් ආපන ශාලා හිමියන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

අධික ලුණු සහිත ආහාර ද පාසල් ආපන ශාලාවල විකිණීම වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍ර ලේඛයක් මඟින් දන්වා ඇත.


http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=aa1108217

No comments:

Post a Comment