Thursday, August 25, 2011

ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවය

වනාන්තර විනාශ නොකර පරිසරය සුරකිමින් සංවර්ධනයකරා යන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි - ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවයේදී කියයි

චමින්ද සිල්වා

කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ සඳහා වනාන්තර විනාශ නොකර පරිසරය සුරකිමින් සංවර්ධනය කරා යන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ පරිසර හිතකාමී කර්මාන්ත හා සේවාවන් දිරිගැන්වීමේ සහ ඇගයීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශයේ මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "ජාතික හරිත සම්මාන" ප්‍රදානෝත්සවයට පෙරේදා (23 වැනිදා) සවස සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්විණි.

මධ්‍යම පරිසර අධිකාරියට තිස්‌ වසරක්‌ සපිරීම නිමිත්තෙන් පරිසර හිතකාමී සමාජයක්‌ උදෙසා ජාතික හරිත සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් හොරණ බොඩිලයින් පුද්ගලික සමාගම, කටුනායක ශ්‍රී ලංකා කේටරින් සමාගම, කණ්‌ඩලම හෝටලය සහ තිරප්පනේ උලුගල්ල රිසෝට්‌ යන ආයතන රන් සම්මාන ලැබූහ.

පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් අතින් කුලියාපිටිය ජාතික පාසල, කටුනායක රෝමානු කතෝලික මහා විද්‍යාලය, පුහුල්වැල්ල දමුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය, වාරන්කටුගොඩ කොත්මලේ විද්‍යාලය, බලන්ගොඩ නගර සභාව, නාරාහේන්පිට ජාතික ලේ බැංකුව, අවිස්‌සාවේල්ල ස්‌ටාර් පැකේජින් පුද්ගලික සමාගම, මාකඳුර නෙස්‌ලේ ලංකා සමාගම, නුවරඑළිය කන්දෙපොළ හිරිටන්ස්‌ හෝටලය රිදී සම්මාන ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා අතින් නින්දවුර් අල් අශාක්‌ මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ සංඝමිත්තා විද්‍යාලය, යටියන්තොට ප්‍රාදේශීය සභාව, හොරණ නේචර්ස්‌ බියුටි ආයතනය, කටුනායක ඉන්ඩස්‌ටි්‍රයල් ක්‌ලෝතින් ආයතනය, නුවරඑළිය තේ කර්මාන්තශාලාව, රත්මලාන, කඳවල කන්වෙන්ස µqඩ් ආයතනය, අනුරාධපුර ෆ්ලාම් ගාර්ඩ්න් සහ බේරුවල බබේරියා රිසෝට්‌ යන ආයතන ලෝකඩ සම්මාන ලැබීය.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදෙන විශේෂ ඇගයීම් සම්මානය ජියෝ සයිකල් ලංකා පුද්ගලික සමාගමට හිමිවිය.

මෙරට තුළ පරිසර කාර්යයට දායක වෙමින් කටයුතු කරන වලංගු පාරිසරික ආරක්‍ෂණ බලපත්‍රයක්‌ ලබාගෙන ඇති හෝටල්, රසායන, ඖෂධ, නිමි ඇඳුම්, රෙදිපිළි, ආහාර හා මද්‍යසාර, වාහන සේවා ස්‌ථාන, කසළ කළමනාකරණ ඇතුළු ආයතන සහ පළාත් පාලන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පරිසර නියමු වැඩසටහන් ක්‍රියාත්මක කරන පාසල් ඇතුළු 300 කට වැඩි අයෑදුම්පත් අතරින් තෝරාගෙන මෙම සම්මාන ප්‍රදානය කිරීම සිදුවිය.

සම්මානලාභීන් තෝරාගැනීම සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය අජිත් ද අල්විස්‌, ආචාර්ය සමන් කැලේගම, ආචාර්ය සුමිත් පිලපිටිය, ඇස්‌ලි ද වෝස්‌, අයිරාංගනී සේරසිංහ, ආචාර්ය පද්මිණී බටුවිටගේ, ආචාර්ය ප්‍රියදර්ශනී තල්ගස්‌වත්ත, සේන පීරිස්‌, අසිත සෙනෙවිරත්න සහ ලලිතා ෆොන්සේකා යන විද්වත් විනිසුරු මඬුල්ල මගින් සිදුකර ඇත.

විනිසුරු මඬුල්ල වෙත මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා අතින් සමරු තිළිණ ප්‍රදානය ද මෙහිදී සිදුවිය.

නර්තන අංග රැසකින් සම්මාන ප්‍රදානෝත්සවය අලංකාර කෙරුණු අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පරිසර ඇමැතිවරයා මෙසේද කීය(

කාර්මික විප්ලවය නිසා ලෝකයේ අපේ සම්පත් කා දමමින් ඉන්නවා. මේ වන විට ලෝකයේ සමහර ප්‍රාණීන් තුරන් කරල ඉවරයි. සමහර ගස්‌ වැලුත් එහෙමයි. මේ වන විට මහ මුහුදේ මාළුත් විනාශ කරන්න කටයුතු කරමින් යනවා. එදා අපේ රටට ඉන්දියාවේ මුතු ඇටය ලෙසයි කිව්වේ. ඒ අපේ මුතුන් මිත්තන් අපේ ගහකොළ, සතා සිව්පාවාට ආදරය කරන ජාතියක්‌ ලෙස ජීවත් වූ නිසයි. නමුත් අපි පරිසරය ගැන හිතන එක අතහැරල කියලා මට හිතෙනවා. ඒත් එහෙම නොවන්න වගබලා ගන්න කියලා ජනාධිපතිතුමන් අපිට උපදෙස්‌ දීලා තියෙනවා.

ජනාධිපතිතුමන් ගහ කොළ, සතා සිවුපාවා ආරක්‍ෂා කරන්න කියනවා පමණක්‌ නොවෙයි සිදුකෙරෙන සියලුම සංවර්ධන කාර්යයන් වලදී නිතරම පරිසර හිතකාමීව ඒවා සිදුවනවාද යන්න සොයා බලන ලෙසත් උපදෙස්‌ දීලා තිබෙනවා.

අපි මේ රටේ කිසිම කැලයක්‌ කපන්න අවසර දීලා නැහැ. ඒ වගේම කැබිනට්‌ මණ්‌ඩලයෙන්වත් අවසර දීලා නැහැ. සමහර සංවර්ධන ව්‍යාපෘති ගැන ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්‌ථාවල පරිසරයට වන හානිය පිළිබඳ ජනාධිපතිතුමා විසින් මධ්‍යම පරිසර අධිකාරියෙන් පෞද්ගලිකව විමසීම් කරනවා මම දන්නවා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා (- මධ්‍යම පරිසර අධිකාරියට වසර 30 ක්‌ පිරීම නිමිතිකරගෙන ඇමැතිවරයාගේ උපදෙස්‌ මත නිලධාරීන්ගේ සහාය ලබාගෙන මෙවැනි සම්මාන උළෙලක්‌ ආරම්භ කළා.

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශන වැඩසටහන යටතේ "නිල්ල පිරුණු රටක්‌ පිවිතුරු පරිසරයක්‌" යන තේමාව යටතේ කටයුතු කරමින් අපි මේ වසර කිහිපය තුළ වැඩසටහන් රැසක්‌ ක්‍රියාවට නැන්වූවා. අපේ අධිකාරිය මගින් රට සංවර්ධනය කරා යන ගමනේදී පරිසරය කළමනාකරණය කරගෙන යන අයුරු පිළිබඳව පහසුකම් සපයන්නා ලෙස කටයුතු කරනවා.

මෙහිදී රජය සහ පෞද්ගලික අංශය එක්‌ව පරිසරය රැකගන්න එකතුවෙලා තිබෙනවා. ඒ වගේම මෙම සම්මාන උළෙල සෑම වසරක්‌ පාසාම පැවැත්වීමට අපි සැලසුම් හදලා තිබෙනවා.


http://www.divaina.com/2011/08/25/news26.html

No comments:

Post a Comment