Sunday, August 28, 2011

අලි හොරකම් බලා නොසිටින්න හිස සල සලා!


කටේ නරිවාදේ අහෝ මේ අපරාදේ



මවු ඇතින්න මරා දමා හෝ පළවා හැර මව් ඇකයේ කිරිඋරා බොමින් සිටි අලි පැටවුන් පැහැරගෙන යන ජාවාරමක්‌ පිළිබඳව මීට පෙර දිගින් දිගටම අපි කතා කර ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිවිගෙවන ප්‍රභූවරුයෑයි කියා ගන්නෝද ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින්නෝද පශු වෛද්‍ය විද්‍යාව ගැන සරසවිවල "ලෙක්‌චර්ස්‌" දෙන ඇතැම් පශු දොස්‌තර ඇදුරෝද මෙම ජාවාරමේ පුරුක්‌ බවට පත්වී අලි සොරකම යදමක්‌ බවට පත්කර ගෙන සිටින ආකාරයද අපි හෙළිදරව් කර ඇත්තෙමු. හබරණ සෆාරිකරුවන්ගේ ජීප් රථවල නංවාගෙන මෙසේ හොරෙන් කොළඹට ගෙනා එක්‌ අලි පැටවකු වනජීවී වැටලීම් ඒකකය මගින් මහරගම අලි හිමිකරුවකුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්වූයේ මේ අතරය. තවත් අලි පැටවකු බලංගොඩ "අලි සොරකුගේ" නිවසේ කාමරයක්‌ තුළ බැඳ දමා තිබියදී වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. ඒ වනවිට මෙසේ මවු මරා හෝ මවුගෙන් උදුරා ගෙනවිත් "ප්‍රභූ - සොරු" ළඟ සඟවාගෙන සිටි අලි - ඇත් පැටවුන් ගණන හයක්‌ බවට වනජීවී විශේෂ වැටලීම් ඒකකය හඳුනාගෙන තිබිණි. ඉන් වැඩි දෙනකු කොළඹ නගරය තුළ හා නගරාශ්‍රිතව පිහිටා ඇති දිවයිනේ ප්‍රකට පෙළේ විහාරස්‌ථාන වීමද විශේෂත්වයකි. අහෝ! ලොවට මහා කරුණාව පතල කළ අප අමාමහ බුදුහිමියන් දෙසූ දහම රැගෙන යනවා යෑයි කියන බුදුපුතුන් සමාජයට දෙන දැහැමි පණිවිඩයද මේ. මවුමරා සොරකම් කර දෙන බිළිඳු අලි පැටවුන් මේ ඇතැම් විහාර තුළ හැදී වැඩුණේ හොර රහසේ රඳවාය.

මහරගම හා බළංගොඩදී අත්අඩංගුවට ගත් සොර අලි හිමිකරුවන් පිළිබඳව අධිකරණය හමුවේ නඩු පැවරුණු අතර සොයාගත් පැටවුන් දෙදෙනා ඇත්අතුරු සෙවණට භාර කෙරිණි. මෙම අලි සොරුන්ට නීතිය ක්‍රියාත්මක වන අයුරුත්, ඔවුන්ට දඬුවම් ලැබෙන අයුරුත් අප බලා සිටි නමුත් එවැන්නක්‌ සිදුවන බව පෙනෙන්නට නොතිබිණි. ඒ ගැන අප වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ ප්‍රධානී සහ සහකාර අධ්‍යක්‍ෂ (නීති) වරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ දක්‌වා (එම අවස්‌ථාව) හඳුනාගෙන ඇති (නීති විරෝධී) පැටවුන් සඳහා බලපත්‍ර නිකුත් කොට එම පැටවුන් නීතිගත කරන ලෙසත්, ඉන්පසු හමුවන යම් නීතිවිරෝධී ලෙස ඇල්ලූ පැටවුන් ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් තමන්ට වනජීවී අධ්‍යක්‍ෂවරයා (හිsටපු) හරහා නියෝග නිකුත් වී ඇති බවයි. මේ අනුව හිටපු පාරිසරික අමාත්‍යවරයෙකුගේ සමයේදී හා හිටපු වනජීවී අධ්‍යක්‍ෂවරයකුගේ සමයේදී අලි පැටවුන් සොරකම නොසලකා හැර හෝ පැටවුන්ගේ අයිතිය නීතිගත කර එහි කටයුතු අවසන් කළේය. මෙයින් අලි හොරු නොහොත් "ප්‍රභූ සොරු" මහත් උද්දාමයට පත්වූවා නිසැකය. මීට හඬ නැඟූ පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන් පරාජයට පත්වූ බව එදා ඔවුන් සිතන්නට ඇත. ඔවුන්ට නගන අවලාද සිනහ මැද ජාවාරම්කරුවන්ගේ සවුදිය බඳුන් එකට ගැටෙන්නට ඇත. එහෙත්, මේ ධර්ම ද්වීපයේ අහස - පොළොව නූහුලනා අපරාධ සිදුකොට නිරයෙන් එතෙර වන්නට හැකි යෑයි ඔවුන් සිතන්නේ නම් එය මිථ්‍යාවක්‌ම වන්නේ යෑයි බෞද්ධ ධර්මය අනුව අපි කල්පනා කරමු.

තත්ත්වය මෙසේ තිබියදී නැවත නැවත අලි පැටවුන්ගේ සොරකම් ගැන අසන්නට ලැබිණි. වනගත ඇතින්නන්ගෙන් පැහැර ගන්නා ලද අලි පැටවුන් අතුරුදන් වන බවට වන තොරතුරු දිගින් දිගටම මාධ්‍ය ඇතුළු පරිසරවේදීන් වෙත ගලා ආවේය. ඒ අනුව අලි පැටවුන් හතළිහකට (40) ආසන්න පිරිසක්‌ මෙසේ හොර රහසේ ස්‌ථාන ගණනාවක රඳවා තබා ඇති බවට වාර්තාවේ. මෙයින් බොහෝ ස්‌ථාන බෞද්ධ විහාරස්‌ථාන වීම කැපී පෙණුනි. වනජීවී වැටලීම් ඒකකයට ලබාදුන් මෙවන් ඔත්තු සඳහා අවසානයේ ඔවුන් ක්‍රියාත්මක නොවුණේය. ඒ සඳහා හේතු ලෙස කියවුණේ මෙවන් ස්‌ථානවලට කඩාපැන වැටලීමක්‌ කළහොත් අපට වෙනත් ගැටලුවලට ලක්‌වීමට සිදුවනු ඇතිය යන්නයි. මේ අනුව මෙතෙක්‌ වෙහෙර- විහාරවල සහ තවත් අලි ඇතුන් සම්බන්ධ ප්‍රභූ පුද්ගලයන්ගේ නිල නිවාස යනාදිය පරීක්‍ෂා කිරීමට තරම් ජගතෙක්‌ අප රට තුළ සිටියේ නැත. එහෙත් උතුම් වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත අනුව තවදුරටත් බලපත්‍රයක්‌ නොමැතිව අලියකු ළඟ තබාගැනීම, ප්‍රවාහන යනාදිය සපුරා තහනම් කටයුත්තකි. තමන්ගේ තරාතිරම කියාපාන්නට සමාජ තත්ත්වය පෙන්වන්නට කුමන අසූචිවළක්‌ තුළ හෝ ලගින්නට සූදානම් බව පෙන්වමින් මෙම "ප්‍රභූ-සොරු" ඒ උතුම් වන සත්ව නීතිය බිඳ දමමින් අලි පැටවුන් බලහත්කාරයෙන් සඟවා තබාගත්හ.

හීලෑ ඇතින්නක නම් ඇය ගැබ්ගත් කාලවකවානුව අලිපැටවා බිහිකළ දිනය යනාදී සියලු තොරතුරු වනජීවී නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ වාර්තා කළ යුතු අතර අලුත ඉපදුනු පැටවා සඳහාද බලපත්‍රයක්‌ ලබාගත යුතුවේ. එහෙත් මේ සියලු කාරණා මෙන්ම නීතියද තුට්‌ටුවකට නොසලකා රටේ සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රභූන් ලෙස දිවිගෙවන අලි සොරු අගේට නීති කඩා වැජඹෙද්දී නීති රකින බලධරයෝ නිදි වැදී සිටියහ.

අප විමසීම් කරන සෑම මොහොතක්‌ පාසා කීවේ මෙම සොර අලින්ට (සොරෙන් ගෙනා) බලපත්‍ර ඇති බවකි. එහෙත් පරිසරවේදීහු නිරතුරු සෙවිල්ලෙන් පසුවූහ. ඔවුන් මෙම සොරකම ගැන කතා කරන විට එය වසාගැනීමට බෞද්ධ ලකුණ පෙරට දමා ඒ තුළ සැඟවෙන්නට මොවුහු කටයුතු කළහ. අති උතුම් දළදා වහන්සේත් බෞද්ධාගමත් පළිහක්‌ කරගත් මෙම අලි සොරුන් පරිසර ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට චෝදනා කළේ දළදා මැඳුරට හා බෞද්ධාගමට පහර දෙන මිෂනාරීන් ලෙස හඳුන්වාය. එහෙත් අද මේ සියලු ජාවාරම්කරුවන්ගේ ප්‍රභූවරුන්ගේ කටේ නරිවාදං රෙද්දපල්ලෙන් බේරෙන්නට පටන් ගෙන තිබේ. සත්ව හිංසනය හා සොරදෙටුකම ඉස්‌මතුව පෙනෙන්නට පටන්ගැන්මත් සමඟ ව්‍යාජ අවිහිංසාවේ හැදියාවේ වෙස්‌ මුහුණු ගැලවෙන්නට පටන් ගෙන තිබේ.

අලි පැටවුන් වනාන්තර තුළින් සොරකම් කොට ගෙන ඒමත් සමඟ පරිසරවේදීහු ඔවුන්ගේ තොරතුරු එක්‌රැස්‌ කිරීම දිගින් දිගටම රහසේ කරගෙන ගියහ. ඒ අනුව කොළඹ ආශ්‍රිත විහාරස්‌ථාන කිහිපයකම (සොර) අලි පැටවුන් සිටින බවට අනාවරණය කරගෙන තිබිණි. එහෙත් මෙම සතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්‌ නොතිබුණේ ඔවුන්ගෙන් බොහෝ දෙනකුට නීත්‍යානුකූල බලපත්‍ර ලැබී තිබුණු හෙයිනි. මෙම බලපත්‍රද ලබාදී තිබුණේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ඒ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් දෙදෙනකුගේ සමයේදීය. මීට අදාළ සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන හැම අවස්‌ථාවකදීම දැන ගන්නට ලැබුණේ ඉහළින් ලැබී ඇති නියෝග මත මෙසේ බලපත්‍ර ලබාදී ඇති බවයි. එහෙත් මෙය නීති විරෝධී තත්ත්වයකි. (මේ පැටවුන්ට නීත්‍යානුකූල මවු සිටියේ වනයේය.) වන සත්ව ආඥපනතට අනුව නීතිය ක්‍රියාත්මක කරමින් වන සතුන්ගේ ආරක්‍ෂාවට කටයුතු කළ යුතු ආයතනයෙන් මෙවන් කාර්යයක්‌ සිදුවීම සැබැවින්ම ලැඡ්ජාසහගත කටයුත්තකි. මාධ්‍යයට (රටට) එකකුත්, අලි සොරුන්ට තව එකකුත් කියනා මෙවන් නිලධාරීන්ගෙන් රටට ඇති ඵලක්‌ වේද? සංරක්‍ෂණයට ඇති සෙතක්‌ වේද? අප විශ්වාස කරන්නේ මොවුන් සියල්ලෝම රටට ඇති පිළිකා බවයි. අලි ජාවාරමේ තවත් එකිනෙක ඈඳුණු පුරුක්‌ බවයි.

මෑතකදී හරි අපූරු ප්‍රවෘත්තියක්‌ මාධ්‍යයට ලැබිණි. එයින් කියෑවුණේ අවුරුදු 2 - 2 1/2 ක පමණ අලි පැටවෙකු පන්නිපිටිය ප්‍රදේශයේ ළිඳකට වැටී ඇති බවකි. දෙනෝ දාහක්‌ දිවිගෙවන පන්නිපිsටියටත් වල් අලි ඇවිල්ලද කියා සිතනවාටත් වඩා වැදගත් සිතිවිල්ලක්‌ පරිසරවේදීන්ගේ හිත් තුළ වහා ජනිත විය. ඒ නම් නියත වශයෙන්ම සොර අලිපැටවකු බවයි ඒ. අප වහ වහා එම ආරංචිය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් නමුත් එදා අනෙක්‌ කෙළවරෙන් අසන්නට ලැබුණේ ඒ පන්නිපිටියේ අහවල් පන්සලේ අහවල් හාමුදුරුවන්ගේ අලි පැටියා. අම්මත් එක්‌ක නාවන්න ගෙනියන කොට පොඩි වළකට වැටිලා. ඇත් ගොව්වා කොළ කපන්නලු ගිහිල්ලා හිටියෙ." වැනි පිළිතුරකි.

එදාද අලි පැටියා "යහතින් ගොඩආවේය" තත්ත්වය මෙසේ තිබියදී පසුගිය අගෝස්‌තු මස 22 වැනි සඳුදා රාත්‍රියේ අපූරු අලි මෙහෙයුමක්‌ කොළඹදී සිදුවිය. වාහන තදබදය පැවැති වේලාවක පිට කෝට්‌ටේ හන්දියෙන් ලොරි රථයක පටවාගෙන වයස අවුරුදු පහකට අඩු අලි පැටවකු ගෙන යනු පරිසර හිතකාමියකු දුටුවේය. ආරංචිය වහවහා අදාළ අංශ වෙත සැලවිය. පැටවා සමඟ ලොරි රථය පරිසරවේදීන්ගේ ග්‍රහණයට නතුවිය. කොළ පැහැති 28 ශ්‍රී 2536 දරණ මෙම ලොරි රථය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හැඩහුරුවට තීන්ත ආලේප කර ඊට ළඟින් යන ලාංඡනයක්‌ද පින්තාරු කර තිබූ එකකි. කරුණු විමසීමේදී මේ තුළ අලි පැටවා ප්‍රවාහනයට අදාළව බලපත්‍රයක්‌ තිබුණේද නැත. ඒ අනුව වහාම ලොරි රථය වැලිකඩ පොලිස්‌ ස්‌ථානය වෙත ගෙන එන්නට පරිසර ක්‍රියාකාරීහු කටයුතු කළහ. එහෙත්, එහිදී මෙම අලි පැටවාට බලපත්‍රයක්‌ ඇතැයි යන පණිවිඩයක්‌ ලැබීමෙන් වැලිකඩ පොලිසිය මෙම ප්‍රවාහනයට බලපත් නැති අලිපැටවා හා සැකකාර රියදුරා සමඟ ලොරිය නිදහස්‌ කළේ කිසිදු කොන්දේසියකට යටත්ව නොවේ. ඉන්පසු අලි පැටවාට හිංසා වන පරිදි හැල්මේ පලා ගිය රථය හඹාගිය පරිසර ක්‍රියාකාරීහු නැවතත් ලොරිය අල්ලා වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් කළහ. පසුව බත්තරමුල්ලේ වනජීවී ප්‍රධාන කාර්යාලයට රැගෙන ගිය ලොරි රථය හා අලි පැටවා එහිදී වනජීවී අත්අඩංගුවට පත්වූයේ නීතිවිරෝධී ප්‍රවාහනය හා හිංසනයට යටත් කොටය.

රියදුරුගෙන් ලබාගත් කටඋත්තර පරිදි පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන හා ප්‍රකට පෙළේ විහාරස්‌ථානයක හිමිනමකගේ දැනුම්දීම පරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ තවත් ප්‍රකට විහාරස්‌ථානයක හිමිනමක්‌ වෙත භාරදීම සඳහා අලි පැටවා රැගෙන ගොස්‌ තිබිණි. කෙසේ හෝ අවසානයේදී බලපත්‍රයක්‌ රැගෙන ආ පන්නිපිටිය ප්‍රදේශයේ හිමිනමක්‌ වෙත වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අලි පැටවා නිදහස්‌ කර හැර තිබිණි. බලපත්‍රයේ සඳහන්ව තිබී ඇත්තේ "රොනල්ඩ්" නම් නමැත්තෙකුගේ නමකි. ඔහු විසින් ඉහතකී හිමිනමට අලියා පරිත්‍යාග කර ඇති බවත්, ඔහුගෙන් හිමිනමට අලි පැටවා මාරුකිරීමට අදාළ ලිපි ලේඛණ ඒවනවිටත් වනජීවී දෙපාර්තමේන්තු=වට ලැබී ඇති බවත් එනිසා අලි පැටවා නිදහස්‌ කළ බවත් වනජවී සහකාර අධ්‍යක්‍ෂ (නීති) උපාලි පත්මසිරි මහතා අප කළ කරුණු විමසීමේදී කියා සිටියේය. මේ වනවිට බලපත්‍රයක්‌ නොමැතිව හා හිංසාකාරී අන්දමින් ප්‍රවාහනයට අදාළව අදාළ ඇත්ගොව්වාට හා ලොරි රියදුරුට රුපියල් 21000 බැගින් අධිකරණයෙන් දඩ නියම වී ඇත. එහෙත් සොර අලි හිමිකරුවන් නිදැල්ලේය. කෙසේ හෝ අපට මෙහිදී මතුවන දැවෙන ප්‍රශ්ණයක්‌ ඇත. එය වනජීවී දෙපාර්තමේන්තුවට නැඟෙන්නේ නැත්තේ මන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු. එනම්, රොනල්ඩ් නමැත්තාට මවක්‌ නැති අලි පැටවකු ලැබුණේ කොහෙන්ද යන්නයි ඒ. මේ බලපත්‍රය නිකුත් කර ඇත්තේ වනජිවී දෙපාර්තමේන්තුවෙන්ම නිසා මේ පැටවාගේ මවු හෙළිදරව් කරන ලෙස අපි වනජීවී දෙපාර්තමේන්තු නීති ප්‍රධානීන්ට අභියෝග කර සිටින්නෙමු. නැතහොත් රොනල්ඩ් නමැත්තා හොරෙන් අලි පැටියකු අල්ලාගෙන ඇත්දැයි හෙලිදරව් කරන ලෙසද එසේනම් ඔහුට දඬුවම් පමුණුවන්නේ දැයි අපි ප්‍රශ්න කරන්නෙමු.

දන්නා පරිදි හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ රොනල්ඩ් නමින් අලි අයිතිකරුවකු නැත. එසේ නම් රොනල්ඩ් කවුද? ඔහුට මේ අලි පැටියා ලැබුණේ කෙසේද? මේ රොනල්ඩ් වෙනත් අයකු වෙනුවෙන් පෙනී සිටින්නකුද? මේවාට පිළිතුරු දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. හොරෙන් අලි අල්ලා ඒ සොරකම් වසන්නට වැදි බණ දේශනා නොකරන ලෙසද ලොවට මහා කරුණාව පතල කළ බුදුන්ට මෙන්ම බුදුදහමටද නිගරු නොකරන ලෙසද අපි මෙම ප්‍රභූ-අලි සොරුන්ගෙන් ඉල්ලා සිටින්නට කැමතිය.


ජගත් කණහැරආරච්චි

No comments:

Post a Comment