Friday, August 26, 2011

කුරුවිට දොඩම්ඇල්ල සංචාරක කර්මාන්තයට තෝතැන්නක්

කුරුවිට සමූහ – රූපිකා කේ. බණ්ඩාර

සංචාරක කර්මාන්තයට කදිම තෝතැන්නක් වූ “දොඩම්ඇල්ල” සොඳුරු දසුන් මවමින් ගලා හැලෙයි. මේ මනස්කාන්ත දර්ශනය නැරඹීමටත්, කිසිදු උපද්‍රවයකින් තොරව දිය නා විනෝද වීමටත් හැකි ස්ථාන දිය ඇල්ල අවට නිර්මිතව ඇත්තේය.

කුරුවිට - දෙවිපහළ මාර්ගයේ කි. මී. 5 ක් පමණ දුරකින් පිහිටි “දොඩම්ඇල්ල” හන්දියේ සිට දිය ඇල්ලට දුර කි. මී. 1 ක් පමණය. දෙවිපහළ මහ ඇළෙන් ගලා එන ජලකඳ ගලින් නිර්මිත අලංකාර පොකුණකට එක්රැස් වී එතැනින් දිය ඇල්ලට ජලය මුදාහරියි. පොකුණේ සිට දියඇල්ල දක්වා ගලා යන ජල මාර්ගය මඳ දුරක් යද්දී දොඩම් ගෙඩියක් මෙන් වූ ගල් කුහරයකට වැදී නොපෙනී යයි. නැවත මතුවන්නේ අඩි ගණනක් ඈතිනි.

කොටස් කීපයකට වෙන්ව ඇදහැළෙන දිය ඇල්ල පාමුල පළාතම වසාගත් විශාල ගල්තලාවකි. ඒ හැරුණුකොට දෙපසෙහි තිබෙන ගලින් සෑදුණු කුටි මෙහි අලංකාරය තවත් වැඩි කරයි. දොඩම් ඇල්ල ලෙස නම ලැබුණු ආකාරය පිළිබඳව ජනප්‍රවාදයේ කතා රැසක් ද පවතී. කීරගල වසම හිටපු ග්‍රාම නිලධාරී උපාලි ජයසේකර මහතා පවසන්නේ ඉස්සර විශාල දොඩම් ගසක් මේ ආසන්නයේ පිහිටා තිබීම නිසා දොඩම් ඇල්ල ලෙස හඳුන්වන බව ජනතාව පවසන බවය. දිය ඇල්ලේ ඉහළ ගල්තලාවේ දොඩම් ගෙඩි මෙන් කුඩා කුහර පිහිටා තිබීමත්, මේ නම ලැබීමත් කෙරේ සබඳතාවක් ඇති බවට විශ්වාස කළ හැකි බව ද හෙතෙම පවසයි. ගම්වාසී ඩී. කරුණාරත්න මහතා පවසන්නේ නැරඹීමේ පහසුකම් ඇතිකරන්නේ නම් මෙය සංචාරක ව්‍යාපාරයේ උන්නතියට රුකුලක් වන බවයි.

http://www.dinamina.lk/2011/08/26/_art.asp?fn=r1108263

No comments:

Post a Comment