Saturday, August 20, 2011

2013 වනවිට ඒකපුද්ගල මත්ස්‍ය පාරිභෝජනය සියයට 60 කින් වැඩි කිරීම අපේ ඉලක්‌කයයි

අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න
අපේ රටේ ඒකපුද්ගල මත්ස්‍ය පාරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 13 ක්‌ වන බවත්, එය වර්ෂ 2013 වන විට කිලෝග්‍රෑම් 21 දක්‌වා සියයට 60 කින් පමණ වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අප වසරකට මත්ස්‍යයින් මෙටි්‍රක්‌ ටොන් 19,000 ක්‌ පමණ අපනයනය කරන බවත්, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 190 ක්‌ පමණ වන බවත්, මෙම ප්‍රමාණය දෙගුණයක්‌ දක්‌වා වැඩි කිරීම අපගේ අපේක්‍ෂාව බවත්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අමාත්‍යවරයා එසේ පැවැසූවේ පසුගියදා (15දා) බේරුවල ඊඩ්න් ස්‌පා රිසෝට්‌ හෝටලයේ පැවැති එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් "මරුවැල්පන්න භාවිතයෙන් අල්ලන කෙළවල්ලා මසුන් යාත්‍රා තුළදී හැසිරවීම හා තිරසාර වෙළෙඳ පොළ සංවර්ධන ව්‍යාපෘතිය" ආරම්භ කිරීමේ උළෙලේදීය.

එහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

"අපි මත්ස්‍ය අපනයනය ප්‍රධාන වශයෙන් කරන්නේ යුරෝපීය ප්‍රජාව, ඇමරිකා එක්‌සත් ජනපදය හා ජපානයටයි. මේ අපනයනය දෙගුණයක්‌ කරා ගෙන යාම අපගේ ප්‍රධාන ඉලක්‌කයක්‌ වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මරුවැල්පන්න හා RSW (Refrigerated Sea Water) සහිත බහුදින යාත්‍රා අවශ්‍ය වෙනවා. එවිට අපට ගැඹුරු මුහුදේ හා ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම තුළින් වැඩි ඉල්ලුමක්‌ ඇති කෙළවල්ලා මසුන් ඉහළ ප්‍රමිතියෙන් යුතුව අල්ලාගැනීමටත්, මනා ලෙස ඇසිරීමටත් පුළුවන්. අපගේ ධීවර කර්මාන්තයට ඉහළ මට්‌ටමේ ආයෝජන අවස්‌ථා දිරිගැන්වීම සඳහා අපි ලංකා ධීවර සංස්‌ථා රාජ්‍ය කර්මාන්ත පනත පසුගියදා සංශෝධනය කරනු ලැබුවා. මේ මගින් අපට ජාත්‍යන්තර ආයෝජකයින් සමග එකට එකතු වී ධීවර කර්මාන්තය ආශ්‍රිත හවුල් ව්‍යාපාර ඇති කර ගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම අපගේ බහුදින යාත්‍රා ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමටත් හැකි වෙනවා. මේ මගින් අපි ඉලක්‌ක කර තිබෙන ආකාරයට 2013 වන විට අපගේ මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කිරීමට හැකි වෙනවා. ඒ සඳහා නවීන තාක්‍ෂණික දැනුමෙන් අපගේ ධීවර ප්‍රජාව දැනුවත් කරලීම ඉතාමත් වැදගත් වෙනවා. එම නිසා එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ක්‍රියාත්මක කරන "මරුවැල්පන්න භාවිතයෙන් අල්ලන කෙළවල්ලා මසුන් යාත්‍රා තුළදී හැසිරවීම සහ තිරසාර වෙළෙඳපොළ සංවර්ධන ව්‍යාපෘතිය" ඉතා වැදගත් බව සඳහන් කරන්න ඕන. ඒ සඳහා අවස්‌ථාව ලබාදුන් එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට මාගේ ප්‍රණාමය පුද කරනවා.

මෙම ව්‍යාපෘතිය මගින් මත්ස්‍ය කර්මාන්තයට නවීන තාක්‍ෂණික පුහුණුව හා දැනුම ලැබෙනවා වගේම ඉහළ ප්‍රමිතියෙන් හා මනා කළමනාකරණයෙන් යුතුව මත්ස්‍ය නිෂ්පාදනය සුරක්‍ෂිත කරගැනීමට අවශ්‍ය දැනුමත් ලබාදෙනවා. එවිට ගුණාත්මක බවින් හා ඉහළ අගයකින් යුත් මත්ස්‍යයින් අපනයනය තුළින් අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගැනීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමටත් හැකි වෙනවා.

මෙම අවස්‌ථාවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්‌ථාන නියෝජිත මහාචාර්ය ඉද්දයා කරුණාසාගර්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ප්‍රැක්‌ටික්‌ එවන්ස්‌, ඉන්ෙµdaaපිෂ් ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය මොහොමඩ් අයුබ්, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා, අමාත්‍යාංශ උපදේශක ආචාර්ය එස්‌. සුභසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



http://www.divaina.com/2011/08/19/news07.html

No comments:

Post a Comment