Monday, August 22, 2011

2012 මැයි මසට පෙර දකුණු අධිවේගී දුම්රිය මඟේ ඉදිකිරීම් නිම කිරීමේ ඉලක්කයක්

ගාල්ල-අලුත්ගම දුම්රිය මඟේ ඉදිකිරීම් සැප්: 1දා සිට

ශීලා උඩුවර


දකුණු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සමස්ත ව්‍යාපෘතිය 2012 මැයි මාසය වනවිට නිම කෙරෙන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ මාතර සිට මරදාන දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුතින් ඉදිකෙරේ.

මෙහි දෙවැනි අදියර ගාල්ල සිට අලුත්ගම දක්වා ලබන සැප්තැම්බර් මස පළමු වැනිදා ආරම්භ කරන බව ද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරඹීම හා උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මගේ වර්ණ සංඥා පද්ධති ඉදිකිරීම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දීය.

මෙම මාර්ගය ඉදිකිරීමෙන් පසු දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් සිදු කෙරෙන බව පැවසූ ඇමැතිවරයා මෙහි ප්‍රථම අදියර මාතර සිට ගාල්ල දක්වා නිමකර දුම්රිය ධාවනය කෙරෙන බවත්, එම කොටසේ දැනට පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කෙරෙන බවත් ඇමැතිවරයා කීය.
මෙම මාර්ගය ඉදිකෙරෙන සැප්තැම්බර් මස 1 වැනිදා සිට මාස 6 ක් දක්වා කාලය තුළ ගාල්ල සිට අලුත්ගම දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බවත් මාතර සිට ගාල්ල හා අලුත්ගම සිට කොළඹ දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරෙන බවත් ඇමැතිවරයා කීය.
මෙම ව්‍යාපෘතිය සමඟ බලවේග කට්ටල 20 ක් දුම්රිය එන්ජින් 7 ක් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙන බව පැවසූ ඇමැතිවරයා, මේ වනවිට බලවේග කට්ටල 20 න් 7 ක් දැනටමත් ලැබී ඇති බවත් ඒවා ධාවනයට යොදවා ඇති බවත් ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මෙසේද කීය.

මෙම එන්ජින් උඩරට මාර්ගයේ ධාවනයට යොදවනවා. දැනට ධාවනයට යොදවන දුම්රිය එන්ජින්වලින් වැඩි කොටසක් අවුරුදු 55 ක් ඉක්මවූ ඒවායි. තවත් කොටසක් වසර 20ත් 30ත් අතර කල්ගිය ඒවා යි. එම දුම්රියන් සඳහා අලුතින් ලැබෙන දුම්රිය එන්ජින් යොදවනවා. නවීකරණය කරන මාර්ගයේ මුළුමනින්ම ගලවා අලුතින් රේල්පීලි යොදවා සේදීයාමකට ඉඩ නොලැබෙන ලෙස ශක්තිමත්ව ඉදිකරනවා.

දෙවෙනි අදියර යටතේ කිලෝමීටර් 53 ක නව දුම්රිය මාර්ගයක් අලුතින් ඉදිකෙරෙයි.

නව දුම්රිය කර්මාන්තශාලා තුනක් ගාල්ල, අලුත්ගම, මරදාන යන ප්‍රදේශවල ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් ය.

ගාල්ල සිට අලුත්ගම දක්වා දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තබන කාලය තුළ මගීන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස්රථ යොදවයි.

මෙහි තුන්වැනි අදියර ඉඳුරුව සිට කළුතර දක්වා ඉදිකෙරෙන අතර ඒ සඳහා මාස 9 ක පමණ කාලයක් ගතවේ.

No comments:

Post a Comment