සෑම වසරකම පාහේ කඳුරට ඇතැම් ප්‍රදේශයන්හි පතන් බිම් හා ලඳු කැලෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් අසන්නට හා දකින්නට ලැබෙන පුවත් ප්‍රමාණයෙන් ඉහළ මට්‌ටමක පවතී. මිට හේතු වශයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළත් වාර්ෂිකව මෙමඟින් සිදුවන පාරිසරික ව්‍යසනයන් අතිමහත්ය.
විශේෂයෙන් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රක්‍ෂිතයකින් හෙබි නමුණුකුල අවට ප්‍රදේශයන්ගේද සිදුවීම මේ වනවිට අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ. පසුගිය වසරවලට වඩා පුළුල් ලෙසින් එම කඳුවළල්ල අවට ප්‍රදේශ පසුගිය සති කීපය පුරාම ගිනි තබා විනාශ කොට තිබීම මහත් අවාසනාවකි.
මේ පිළිබඳ "දිවයින" කළ විමසුමකදී අදහස් ඉදිරිපත් කළ කීපදෙනකු පවසා සිටියේ මෙවන් අදහස් සමූහයකි.
ඌව අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීරියබැද්දේ උපනන්ද හිමි
පළාත පුරාම පතන් බිම් හා ලඳු කැලෑවලට ගිනි තැබීමට සමහර දෙනා පුරුදු වී සිටීම මහත් අභාග්‍යයක්. බුදුන් වහන්සේ පවා පෙන්වා දී තිබුණේ මිනිසාගේ යහපැවැත්මට ඔහුගේ වටපිටාවද සෘජුවම බලපාන බවයි.
පසුගිය දිනවල උදේ, සවස සහ රාත්‍රි කාලයේ අපේ ඇස්‌පනා පිටම නමුණුකුල කඳුවැටිය අවට පතන් බිම් ගින්නෙන් දැවී ගියා. මේවායින් ශාක පමණක් නොව අහිංසක සතා සිවුපාවන්ද මිය යනවා. සොබා දහමට පිටුපා කරන මෙවැනි පාප ක්‍රියාවන්වලින් ඇතිවන විපාක කොයි කවුරුන්ටත් විඳින්නට සිදුවෙනවා.
මාධ්‍යවේදී චන්දන වනසිංහ මහතා - මේ වනවිට පස්‌සර හා ඒ අවට ප්‍රදේශයන්හි ගින්නට හසුනොවන කඳු ගැටයක් පවා සොයා ගන්න අමාරුයි. බරපතළ ලෙස නමුණුකුල කඳුවැටිය වටේ ඇති පතන් බිම් හා ලඳු කැලෑ ගිනි තියලා.
ඌව පළාතෙ හොඳම දියඋල්පත ඇති මේ ප්‍රදේශයට ගිනි තැබීමෙන් කරන හානිය බරපතළයි. මෙහි බලපෑම් මැණික් ගඟේ, ලොග්ගල්ලා ඔයේ සහ බදුලු ඔයේ ජලයට සෘජුවම බලපානවා.
පස්‌සර පරිසර සංරක්‍ෂණ සංගමයේ අධ්‍යක්‍ෂ කේ. සරත් කුමාර මහතා - මේ කතන්දර අවුරුද්ද පුරාම අපි දකිනවා, අහනවා. නමුත් ඊට නිසි පිළියම් තාම යොදා නැහැ. වන ආඥ පනත යටතේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වී සිටින කාහට වුවද දඬුවම් දෙන්න පිළිවන්. ඒවා ක්‍රියාත්මක නොවන නිසයි දිගින් දිගටම මේ ව්‍යසන සිදුවන්නේ.
ගෝනගල ගැමිදිරියZ සංගමයේ කේ. එම්. ගුණරත්න මහතා - මේ සුළු සුළු ගිනි තැබීම්වලින් සමහර විට නමුණුකුල මුළු රක්‍ෂිතයටම ගින්න ඇතුළු වෙන්න පිළිවන්. එහෙම සිදු වුණොත් ජෛව විවිධත්වයෙන් යුතු ශාක සහ වටිනා ගස් සියල්ල විනාශ වන්න පිළිවන්. ඒ නිසා වගකිව යුතු සැමගේ සහයෝගය ලබාගෙන ඒ අවට ගිනිතැබීම් කරන පුද්ගලයන් සොයා ඒවාට පිළියම් යෙදිය යුතුයි.
දැනටමත් කවුරු කවුරුන්ගේ හෝ මේ පරිසර විනාශයන් නිසා කඳු වැටියට පහතින් වූ ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන්න සිදුවෙලා. වී සහ එළවළු ගොවිතැනට මෙය බරපතළ ලෙස බලපා තිබෙනවා. බීමට ජලය සොයා ගැනීම අසීරුයි. ජල උල්පත් සිඳීයැමට හේතුවන දිහා බලා ඉඳලා ඒවට පිළියම් නොයොදා විටින් විට දේවදානය ආදිය දී දේව කන්නලව් කළාම හරියනවාද?
සටහන හා ඡායාරූප නමුණුකුල - යූ. බී. පල්ලේගෙදර
http://www.divaina.com/2011/08/18/provin02.html
No comments:
Post a Comment