අමල් උඩවත්ත
අලි ඇතුන් සමීක්‍ෂණයෙන් පසුව හඳුනාගත් අලි ඇත් පැටවුන් 300ක් ගෘහාශ්‍රිත කිරීමට පියවර ගන්නා බව ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගිය 06 වැනි දින ඔහු ගේ අනුරාධපුර නිවසේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී අනාවරණය කිරීම හේතුවෙන් වසර 2011 අලි සමීක්‍ෂණයෙන් වහා ම ඉවත් වීමට පරිසර සංවිධාන සියල්ල ම තීරණය කර තිබිණි. ඒ හා සම්බන්ධ කරුණු දැක්‌වීමක් අගෝස්‌තු 09 වැනි දින කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකා සත්ත්වවේදීන් ගේ සංගමයේ සභාපති පුබුදු වීරරත්න මහතා අදහස් දැක්‌වූ යේ මේ අයුරිනි.
"මීට පෙර දෙවතාවක් ම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් තමයි මේ සමීක්‍ෂණය කළේ. නමුත් පසුගිය දිනක විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළා මේ වන අලි සංගණනය කිරීමේ මූලික පරමාර්ථය ශ්‍රී ලංකාවේ දේවාල හා විහාරස්‌ථානවලට අවශ්‍ය අලි ඇතුන් ගේ පුරප්පාඩු පිරවීම සඳහා අලි ඇතුන් 300ක් ඇල්ලීමට කටයුතු කර තිබෙනවා කියලා. මෙහි දී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, විෂය භාර අමාත්‍යවරයාත් දක්‌වන අදහස් අතර පරස්‌පරයක් තිබෙනවා. පසුගිය කාලේ අලි ඇතුන් හිමියන් වනෝද්‍යාන තුළින් නීත්‍යනුකූල නො වන අන්දමින් පැටවුන් රැගෙන ගොස් තිබෙනවා. මේ පැටවුන්ට නීත්‍යනුකූල බලපත්‍රයක් නෑ. අද උදේ අමාත්‍යවරයා කළ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ අලි 300ක් නෙවෙයි අලි 180ක් වන බවයි. එවගේ ම ඔහු ඉතා ම පැහැදිලිව කියනවා හොඳ වර්ගයේ අලි සහ ඇත් පැටවුන් කියල. කෙසේ වෙතත් මේ අදහසට අප රටේ පරිසර සංවිධාන විරෝධය පෑමක් ලෙස සමීක්‍ෂණයෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කළ බව මෙහි දී සඳහන් කරනවා".
මෙහි දී අදහස් දැක්‌වු ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා "වන සත්ත්ව හා වෘක්‍ෂ ලතා ආඥා පනත යටතේ ප්‍රතිලාභ මේ කර්තව්‍යය සඳහා සැලසී තිබෙනවා. මේ ප්‍රතිලාභ අනුව 1992 නිකුත් වූ ගැසට් පත්‍රය හා පනතේ ප්‍රතිපාදන අනුව ලංකාවේ සිටින සැම හිලෑ අලියෙක් ම ලියාපදිංචි කළ යුතුයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කරන මේ ලියාපදිංචියට අලියන් ගේ ශරීර ලක්‍ෂණ, වයස, ගැහැනු පිරිමි බව වැනි කරුණු ගණනාවක් ඡායාරූප කීපයක් සහිතව අයදුම් පතක් මගින් ඉරිදිපත් කළ පසුවයි, ලියාපදිංචිය ලබා දෙන්නේ. ලියාපදිංචිය ලබාගත් ඇතා හෝ අලියා ජීවත් වන කාලය තුළ වාර්ෂිකව බලපත්‍රයක් ලබාගත යුතුයි. ලියාපදිංචියට අමතරව මේ වාර්ෂික බලපත්‍රය ලබා දෙන්නේ ඒ සතා නිරෝගීව ජීවත් වනවා ද, ඒ සතා ලියාපදිංචි ස්‌ථානයේ සිටිනවා ද නැත්නම් ඒ වෙනුවට වෙනත් සතෙක් ද ඉන්නේ කියන එක තහවුරු කරගන්නයි. නමුත් අපි දන්නා දෙයක් තමයි ලියාපදිංචිය වත් ලබාගෙන නැති අලින් සංඛ්‍යාවක් ඉන්න බව. ලියාපදිංචිය නැති අලියෙක්, ඇතෙක් යම් අයෙක් තමන් ළඟ තබා ගත්තොත් වන සත්ත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ පනත යටතේ නීති විරෝධීව ලබාගත් අලියෙක් ලෙසටයි, සලකන්නේ. එවන් අවස්‌ථාවක දී සතාව භාරයේ තියාගෙන සිටින තැනැත්තා වරෙන්තුවක් මගින් අත්අඩංගුවට ගත හැකියි. මේක ඇප දිය නොහැකි වරදක්. දින 14ක කාලයකට බන්ධනාගාරගත කරන්නත් හැකියාව තිබෙනවා.
අනෙක් කරුණ තමයි, අලි ඇතුන් හොරෙන් ගෙන යන ප්‍රශ්නය. දැනට ලංකාවේ පනතේ ප්‍රතිපාදනවලට අනුව යම් කෙනෙකු ගේ ඇතින්නක් හෝ කෙනෙරක් ගැබ් ගත් විට ඒ ගැබ් ගැනීම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්වන්න ඕනේ. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සතාව ගැබ් කාලය තුළ පරීක්‍ෂාවට ලක් කරනවා. යම් වේලාවක දී ඒ සතා මළ පැටවකු බිහි කළොත් හෝ ගබ්සා වීමක් සිදු වුණොත් ඒ කළලය වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව බැහැර කළ යුතුයි. එසේ නො කිරීම වරදක්. මේ ප්‍රතිපාදනය 2009 අංක 22 සංශෝධිත පනතෙන් ගෙනාවේ, ඒ කාලේ ඉහළින් ම සිදු වූ අලි ඇතුන් හොරකම පරාජයට ලක් කරන්නයි. මේ පනත ගෙන ආ අලුත ම නීති විරෝධී අලි පැටවෙක් බංලගොඩින් හමු වුණා. මේ පනත නිසා අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න හැකි වුණා. අලි පැටියා පින්නවලට භාර දෙන්න හැකි වුණා. මේ පනතට අනුව අලි ඇතුන් හිමියන්ට ඇතින්නක් හෝ කෙනෙරක් ගැබ් ගත්තොත් උන් ගේ අවම ගැබ් කාලය මාස 21ක් වන නිසා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න කාලය තිබෙනවා. කෙනෙක් කිව්වොත් නීති විරෝධීව ලබාගත් ඇත් පැටියෙක් හෝ අලි පැටවෙක් හඳුනා ගන්න ප්‍රශ්නයක් තිබෙනවා කියල ඒක මුසාවක්. පනතේ 66 වැනි වගන්තියෙන් පොලීසියට හැකියාව තිබෙනවා මේ වගේ අවස්‌ථාවක දී වහා ම නීතියෙන් කටයුතු කරන්න. මොකද පොලිසියටත් වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් බලතල ලබා දී තිබෙන නිසා.
මේ තත්ත්වය යටතේ කාට වත් තමන් යටතේ ඉන්න නීති විරෝධී පැටවෙක් තමන් ගේ ඇතින්නියකට හෝ කෙනෙරකට දා ව උපන් පැටවෙක් කියා තහවුරු කරන්න බැහැ. ඇමැතිතුමා කිව්ව අපි මේ සංගණනයෙන් කරන්නේ සුදුසු අලි පැටව් හා ඇත් පැටව් කැළෙන් ඇල්ලීම කියල. 2009 අංක 22 සංශෝධිත පනතේ අංක 14 වැනි වගන්තිය හිටපු පරිසර ඇමතිවරයා පනතෙන් ඉවත් කළා. ඒ ඉවත් කිරීමෙන් කවර හෝ අයුරකින් කැළෙන් අලි හා ඇත් පැටවුන් අල්ලන්න බැහැ. දැනට අලියෙක් අල්ලන්න හැකි වන්නේ පනතේ 13 වැනි වගන්තිය අනුව පමණයි. 13 වැනි වගන්තියෙන් අල්ලා ගන්න නම් ඒ සතා වගා බිමකට හෝ මිනිස් ජීවිතයකට හෝ මිනිස් දේපළවලට හානි කරන සතෙක් ලෙස කලින් හඳුනාගෙන සිටිය යුතුයි.
දැන් තිබෙන නීතියේ හැටියට 14 වැනි වගන්තිය නොමැති මේ තත්ත්වය තුළ අපිට පේනවා අමාත්‍යවරයා යම් වෙලාවක මේ දේවල් ක්‍රියාත්මක කළොත් පනත රකින්න ඉන්න දෙපාර්තමේන්තුව භාර, විෂය භාර අමාත්‍යවරයා ම නීතිය උල්ලංඝනය කරන බව. ඒ නිසා අපි වගකීමෙන් කියනවා ඇමැතිතුමා ගේ මේ ප්‍රකාශය වගකීමෙන් තොර ප්‍රකාශයක් වගේ ම නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව කරන ඇඟවීමක් කියල. අවසන් වරට 2007 වසරේ දී අවුරුදු 40ක විතර අලියෙක් කැළෙන් අල්ලා දළදා මාළිගාවට භාර දුන්නා. ඒ වෙන කොට මේ සංශෝධන තිබුණේ නෑ. ඒ අලියා හීලෑ කරන්න ගත් උත්සාහයේ දී අධික වද දීම නිසා මිය ගියා. මේක බලාධික ක්‍රියාවක් ලෙසයි සිතන්නේ. අපේ රටේ නීතිය ආරක්‍ෂා කරන ආයතන තුනක් තිබෙනවා. ඒ ව්‍යවස්‌ථාදායකය, විධායකය හා අධිකරණයයි. මෙහි දී පනතින් සම්මත නීති අමාත්‍යංශය විසින් ම කඩනව නම් ඒක රටේ අනාගත පරිහානියට හේතුවක්. ඇමැතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙක් හෝ රජයේ උසස් නිලධාරියෙක් හෝ කිසියම් ප්‍රකාශයක් කරනවා නම් එය වගකීමෙන් කළ යුතු දෙයක්. අපි මේ අය ගැන අවධානයෙන් ඉන්නේ ඊළඟට එළඹෙන අවස්‌ථාවෙ කුමක් ද වෙන්නේ කියා බලාගෙනයි." යනුවෙන් පැවසී ය.
http://www.vidusara.com/2011/08/17/news1.html
No comments:
Post a Comment