Wednesday, August 10, 2011

බාල ඖෂධ ගෙන්වූ අයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ හෙළිකරන්න ඕනෑ

- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඒමන්ති මාරඹේ

පසුගිය වසරවලදී රජයේ රෝහල් සඳහා ආනයනය කළ තත්ත්වයෙන් බාල බව තහවුරු වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලද රුපියල් මිලියන ගණනක්‌ වටිනා බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය විනාශ කළාද? යන්න පිළිබඳවත්, ඒවා මෙරටට ගෙන්වීමට මුල්වූ සෞඛ්‍ය අමාත්‍යාංශ/ඖෂධ සංස්‌ථා නිලධාරීන් හා සැපයුම්කරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසිද්ධියේ මහජනතාවට හෙළිදරව් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රටේ ආර්ථිකයට බලවත් පාඩුවක්‌ සිදු කරමින් ටෙන්ඩර් වංචා හා දූෂණ මත මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන ගණනක්‌ වටිනා ඇතැම් තත්ත්වයෙන් බාල බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වීමට හෝ ඒවා සැපයූ සැපයුම්කරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට අපොහොසත් වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය එසේ තත්ත්වයෙන් බාල බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය විශාල තොගයක්‌ විනාශ නොකර වෛද්‍ය සැපයුම් අංශය තුළ ගොඩගසා තබා ගැනීමද ගැටලු සහගත තත්ත්වයක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය සංකල්ප මාරසිංහ මහතා "දිවයින" ට පැවසීය. 

තත්ත්වයෙන් බාල බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍යවලට අමතරව 2009 වසරේ දී කල් ඉකුත් වූ පෙතිඩින් නමැති වේදනා නාශක එන්නත් දියර කුප්පි තුන්ලක්‌ෂයක පමණ තොගයක්‌ද මෙතෙක්‌ විනාශ නොකර වෛද්‍ය සැපයුම් අංශ ගබඩාවල තැන්පත් කර ඇත්තේ කුමන අරමුණකින්ද යන්න පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ යුතුව ඇතැයි වෛද්‍ය මාරසිංහ කීවේය.

බටහිර රටවල නම් භාවිතයෙන් ඉවතලන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය පිළිබඳව මෙන්ම කල් ඉකුත් වන බෙහෙත් වර්ග සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පවතින බවත් එවැනි ක්‍රියාමාර්ග අප සෞඛ්‍ය බලධාරීන් සතුව නොතිබීම අවාසනාවක්‌ බවත් කී වෛද්‍ය මාරසිංහ තත්ත්වයෙන් බාල බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය සැපයූ කිසිදු බෙහෙත් සැපයුම්කරුවකු හෝ සැපයුම්කාර සමාගමකට එරෙහිව මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ගත් පියවරක්‌ පිළිබඳව දැනගන්නටවත් නැතැයි අවධාරණය කළේය.


http://www.divaina.com/2011/08/10/news06.html

No comments:

Post a Comment