ඇමැති එස්. එම්. චන්ද්‍රසේන
අනුර බාලසූරිය
වන අලි සමීක්‍ෂණය කෙරෙනුයේ අලි ඇතුන් අල්ලා කිසිදු පුද්ගලයකුට ලබාදීමට නොවන බව ගොවිජනසේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා අවධාරණය කළේය.
ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේදී ඊයේ (09 වැනිදා) පස්‌වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැරැදි ප්‍රචාරයක් පැතිර යන බව සඳහන් කළ ඇමැතිවරයා වන අලි ඇතුන් අල්ලා පුද්ගලයන්ට ලබාදීමට වන ජීවී සංරක්‍ෂණ පනත යටතේ හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.
මෙම වන අලි සමීක්‍ෂණය සිදු කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ සිටින වන අලි ඇතුන් ප්‍රමාණය තහවුරු කර ගැනීමටත් වන අලි ඇතුන්ගේ ගහණය වැඩිහිටි, ගැහැනු පිරිමි තරුණ, පැටවුන්, ළදරු හා ඇතුන් වර්ග කර හඳුනා ගැනීමත්, කුමන අයුරකින් පැතිර ඇද්දැයි සොයා බැලීමටත් බව හෙතෙම කීවේය.
අලි - මිනිස් ගැටුමට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමත් යනාදී කරුණු තහවුරු කර ගැනීමේ අරමුණින් බවද හෙතෙම කීවේය.
ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතරක වන අලින්ගෙන් හානි සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළ ඇමැතිවරයා එම ප්‍රශ්නයට මෙමගින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් පැවැසීය.
ලංකාවේ පෞද්ගලික අංශයට හා විහාරස්‌ථානවලට අලි ඇතුන් 300 ක් පමණ සිටි බවත් දැන් ඉන් ඇත්තේ 120 දෙනෙකු පමණක් බවත් සඳහන් කළ ඇමැතිවරයා එම අලි ඇතුන් සිsටි ආගමික ස්‌ථාන හා පුද්ගලයන් ඔවුන්ට අලි ඇතුන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
නමුත් එලෙස අලි ඇතුන් ලබාදීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා අතරමං වන හා අනාථ වන අලි පැටවුන් පමණක් පින්නවල ඇත්අතුරු සෙවනට ගෙන ගොස් අනතුරුව පින්නවලට භාරදී ඇති දැඩි කර ඔවුන්ට වසර 5 ක් සම්පූර්ණවීමෙන් පසු එම ආගමික ස්‌ථානවලට ලබාදීමට කටයුතු කරනවා හැරෙන්නට වෙනත් වන අලි කිසිවකු පෞද්ගලික අංශයට ලබා නොදෙන බව අවධාරණය කළේය.
බොරු ප්‍රචාරයන්ට නොරැවටී මෙම සමීක්‍ෂණය සඳහා සහාය දක්‌වන ලෙස පරිසර සංවිධානයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවැසීය.
මෙම මාධ්‍ය හමුවට වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්. ඩී. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්‌වූහ.
http://www.divaina.com/2011/08/10/news34.html
No comments:
Post a Comment