Monday, August 15, 2011

රට පොහොරට නොහඬන්නේ - තිබෙන පොහොර රැකගන්නේ

එප්පාවල පොස්‌පේට්‌ නිධිය ධන නිධානයක්‌ කරනොගැනීමේ විපාකය හඳුනාගනිමු
පොහොර පිළිබඳව වූ කතිකාවත මීට දශක තුනකට වඩා වෙනස්‌ ආකාරයකින් වර්තමානයේ විද්වතුන් අතර සංවාද වෙතත්, ගොවිතැනේදී තවමත් කාබනික පොහොරට වඩා තැනක්‌ හිමිව ඇත්තේ රසායනික පොහොරටය. ගොවියා රසායනික පොහොර සඳහා ඇබ්බැහිවීමක්‌ සිදුවී ඇති බව පෙනෙන අතරම කාබනික පොහොර විකල්පය, තවමත් ගොවි මනස විසින් පිළිගන්නා තැනක නොතිබීම ද මීට හේතුව බව පෙනේ. පරිසර ආරක්‌ෂණවාදී පියවරයන් අනුව කාබනික පොහොර භාවිතය අතිශයින් වැදගත් වෙතත්, ඵලදායිතාව ලබාදීමේ තරගයේදී තවම ගොවියා විශ්වාස තබා ඇත්තේ රසායනික පොහොර කෙරෙහි වීම මීට බලපා ඇති ප්‍රධාන හේතුවකි. කාබනික පොහොර භාවිතය දිරිගන්වන පර්යේෂකයන් රසායන පොහොර යෙදීම හා කාබනික පොහොර යෙදීම තුළින් අස්‌වැන්නේ පුළුල් වෙනසක්‌ නොවන බව කිහිපවරක්‌ම පෙන්වාදී ඇතත්, එය ගොවි බිම කරා තවමත් කාන්දු වී නැත. මේ නිසා නූතන ශ්‍රී ලංකාවේ පොහොර භාවිතය සැකසී ඇත්තේ රසායනික පොහොර පැත්තට අතිශයින්ම බර තබමින්ය. රසායන පොහොර භාවිතයේදී පරිසරය, සෞඛ්‍ය යන කාරණා සඳහා එල්ලවන තර්ජනය මතුවී පෙනුණත් එහිදී සිදුවන ආර්ථික හානිය පෙන්නුම් වී ඇත්තේ අවම වශයෙනි. විදේශයන්ගෙන් පොහොර ආනයනය කිරීම හේතුවෙන් ගොවිතැන සශ්‍රීක තත්ත්වයක පත් වුවත් එයින් රට සශ්‍රීක තත්ත්වයකට පත්වීමක්‌ සිදුවන්නේ නැත. ඵලදාව හා එය බිහිකරනා ඉඩම අපේ වුවත් ඒ සඳහා යොදන පොහොර එතෙරින් ගෙන්වීම හේතුවෙන් රටේ වගාවන් එතෙර සිටින පොහොර සමාගම් සඳහා "කරල පැහෙන" තත්ත්වයක්‌ ඇතිකර තිබේ.

කාබනික ගොවිතැනට ගොවියා සේන්දුවීම සෙමින් සිදුවීමත්, රසායනික පොහොර එතෙරින් ගෙන්වීම හේතුවෙන් එම රටවලට මුදල් ඇදී යැමත්, නිසා අද ගොවිතැන හමුවේ ඇති අභියෝගය වී තිබෙන්නේ කාබනික ගොවිතැනට ගොවියා යොමු කිරීම හා සංක්‍රාන්ති කාලය තුළ පොහොරින් ස්‌වයංපෝෂිතවීම හෝ අවම වශයෙන් රටට අවශ්‍ය පොහොර වර්ග කිහිපයක්‌ හෝ අප විසින්ම නිපදවා ගන්නා තැනකට පැමිණීමය. 2005 වසරේදී ඉදිරිපත් කරන ලද මහින්ද චින්තනය මගින් පොහොර පිළිබඳව වූ මෙම තත්ත්වයන් සඳහා විසඳුම් යෝජනා කර තිබිණි.

"කෘෂි කර්මාන්තයේ හා වැවිලි කර්මාන්තයේ නිෂ්පාදන ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සියලු රසායනික පොහොර වර්ග කිලෝ 50 ක බෑගයක්‌ රුපියල් 350 ක මිලකට ලබා දෙන්නෙමි.

මීට අමතරව රසායනික භාවිතයෙන් තොරව ගොවිතැන් කිරීම දිරි ගැන්වීම සඳහා රජය විසින් විශේෂ වැඩසටහනක්‌ ආරම්භ කරන අතර ඒ සඳහා උනන්දුවන ගොවීන්ට මූල්‍යමය ආධාර ලබා දෙමි.

දීර්ඝකාලීනව ගොවියාට අඩු මිලට පොහොර සැපයීමේ වැඩපිළිවෙළ යටතේ නව පොහොර කර්මාන්තශාලාවක්‌ ආරම්භ කිරීමට කටයුතු කරමි."

(මහින්ද චින්තන - පිටුව 40)

රසායනික පොහොරවල අධික මිල හේතුවෙන් වගා කටයුතු අඩපණවීමත්, ආහාර මිල ඉහළ යැමත් පාලනය කිරීමට පොහොර සහනාධාරය ලබාදීම යෝජනා කළ මහින්ද චින්තනය, රසායනික පොහොර වලින් සිදුවෙන පාරිසරික, සෞඛ්‍ය හා ආර්ථික හානි සලකා කාබනික ගොවිතැන දිරිගැන්වීමටද යෝජනා කර තිබිණි. කාබනික ගොවිතැන කරා සම්පූර්ණ කෘෂිකර්මාන්තයට යොමුවන තෙක්‌, රසායනික පොහොර දේශීය වශයෙන් නිපදවීමට පොහොර කර්මාන්ත ශාලාවක්‌ ඉදිකිරීම මගින් මහින්ද චින්තනය බලාපොරොත්තු වන්නට ඇත්තේ පොහොර සඳහා එතෙරට ඇදී යන විශාල මුදල රට තුළ ඉතිරි කර ගැනීමටය.

මෙම කර්තව්‍යයයේ ප්‍රථම පියවර ලෙස වී ගොවියා සඳහා පොහොර සහනාධාරය හිමි කරදෙන ලදී. මේ සඳහා රජය විසින් වාර්ෂිකව දරන ලද මුදල රුපියල් මිලියන 34560 (රුපියල් කෝටි 3456) ක්‌ විය. 2010 වසරේදී ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළින් වී වගාවට අමතරව එළවළු වගාව සඳහා ද පොහොර සහනාධාරය ලබාදීමට යෝජනා කළ අතර දැන් එය ක්‍රියාත්මක වේ. ඒ සඳහා රජය විසින් දරන පිරිවැය රුපියල් මිලියන 18000 (රුපියල් කෝටි 1800) ක්‌ වේ. මේ නිසා වී හා එළවළු සඳහා පමණක්‌ පොහොර සහනාධාරය සැපයීමට වාර්ෂිකව රජය දරන පිරිවැය රුපියල් මිලියන 52560 (රුපියල් කෝටි 5256) ක්‌ වේ. මේ, රජය වී හා එළවළු වගාව සඳහා පොහොර සහනාධාරය ලබාදීමට දරන වියදමයි. මීට අමතරව ඒ සඳහා ගොවියා ද පිරිවැයක්‌ දරයි. මේ අනුව පොහොර සඳහා රටෙන් එතෙරට වාර්ෂිකව ඇදී යන මුදල් ප්‍රමාණය තේරුම් ගත හැකිය.

මෙම තත්ත්වය මත කාබනික ගොවිතැන සඳහා ගොවියා දිරිගැන්වීම වැඩිකිරීමටත්, රටට අවශ්‍ය රසායනික පොහොර හැකි පමණ රට තුළ නිපදවීමේ යාන්ත්‍රණයක්‌ද අත්‍යවශ්‍ය වී තිබේ. ශ්‍රී ලංකාවට තමන්ගේ රසායනික පොහොර අවශ්‍යතාවයෙන් කොටසක්‌ තනා ගැනීම සඳහා ස්‌වභාවධර්මයා විසින්ම වටිනා දායාදයක්‌ දැනටමත් ලබා දී තිබේ. එප්පාවල පිහිටි පොස්‌පේට්‌ නිධිය ඒ මහඟු දායාදය වුවත් එය මැනවින් ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව තවම කටයුතු කර නැත. ඒ වෙනුවට එතෙරින් ගෙන්වන පොහොර මල්ල කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටින තත්ත්වයකට තවම රට පත්වී සිටියි. එතෙරට පොහොර සඳහා වැයවන මුදල සේම තවත් අන්තරායන් ද ඒ සමඟ එමින් තිබේ.

න්‍යෂ්ටික බලය නිපදවන රටවලට අද ඇති දැවැන්ත ප්‍රශ්නයක්‌ වී ඇත්තේ න්‍යෂ්ටික බලය නිපදවීමෙන් පසු ඉතිරිවන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීමය. න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය ඉහළ වියදමකින් යුක්‌ත නිසා තුන්වැනි ලෝකයේ රටවලට යවන පොහොර සමඟ එම අපද්‍රව්‍ය කොටසක්‌ කලවම් කිරීම මගින් ඒවා පොහොර කරවීමේ ක්‍රමවේදයක්‌ පවතින බවට විද්‍යාඥයන් හා පරිසරවේදීන් පෙන්වා දී තිබේ. මේ නිසා රටේ ආර්ථිකයට පමණක්‌ නොව සමස්‌ත ජාතියටම අහිතකර මාරයෙක්‌ එතෙරින් ගෙන්වන පොහොර මිටිය තුළ සැඟවී සිටිය හැක. අතිශයින්ම විකිරණශීලී, සත්ත්වයාට අහිතකර න්‍යෂ්ටික අපද්‍රව්‍ය පොහොර සමඟ රට තුළට පැමිණීමේ අන්තරාව රටක්‌ ලෙස හඳුනාගෙන ඒ සඳහා වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට ශ්‍රී ලංකාවට තවම හැකියාව ලැබී නැත. මේ තත්ත්වය හමුවේ. එප්පාවල පොස්‌පේට්‌ නිධිය දෙස වහා හැරී බැලිය යුතු කාලය එළැඹ තිබේ. ලොව දැනට පවතින පොස්‌පේට්‌ ප්‍රමාණය සීග්‍රයෙන් හිඟ වෙමින් පවතී. මේ නිසා පොස්‌පේට්‌වලට වර්තමානයේ ඉහළ වටිනාකමක්‌ හිමි වී තිබේ. නමුත් මෙම වලංගුතාවය වසර කීයක්‌ රැඳී තිබේදැයි කිව නොහැකිය. පොස්‌පේට්‌ පොහොර සඳහා වන හොඳ විකල්පයක්‌ බිහි වුවහොත්, විශේෂයෙන්ම එය පොස්‌පේට්‌ වලට වඩා ලාභදායී වුවහොත් එප්පාවල පොස්‌පේට්‌ නිධියේ කෙතරම් විශිෂ්ට පොස්‌පේට්‌ තිබුණත් එය තවත් පාෂාණයක්‌ වනු මිසක ආර්ථික වැදගත්කමක්‌ සහිත ද්‍රව්‍යයක්‌ වන්නේ නැත. දැනටමත් ඇමරිකා එක්‌සත් ජනපදය විසින් µaලෝරීඩා ප්‍රාන්තයේ තිබෙන පොස්‌පේට්‌ නිධියේ ඇති ස්‌වාභාවික පොස්‌පේට්‌ අපනයනය තහනම් කර තිබේ. මේ නිසා ලෝකය පුරාම පොස්‌පේට්‌ වලට අධික ඉල්ලුමක්‌ ඇති වෙමින් පවතී. මේ තත්ත්වය තුළ රටක්‌ ලෙස අප කළ යුත්තේ අපේ පොස්‌පේට්‌ නිධිය උපරිම ලෙස භාවිත කිරීමට පියවර ගැනීමය. රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 21 ක්‌ බව කියෑවේ. ඒ අනුව ගතහොත් එප්පාවල නිධිය තුළින් තව වසර 550 ක්‌ සඳහා ශ්‍රී ලංකාවට තමන්ගේ පොහොර නිපදවා ගැනීමේ හැකියාව ලැබේ. එසේ වුවත් එප්පාවල නිධියෙන් දැනට ලබාගන්නේ රටේ පොහොර අවශ්‍යතාවයෙන් අල්ප ප්‍රමාණයක්‌ පමණි. පොස්‌පේට්‌ නිධියේ ඇති ගල්, කුඩුකර අඹරා මූලික පොහොරක්‌ ලෙස දැනට භාවිත කරතත්, එයින් වගාවට එතරම්ම හිතකරභාවයක්‌ ලබා නොදේ. ඊට හේතුව වී ඇත්තේ මෙම මට්‌ටමේ පොහොර වගාවට උරා ගැනීම සඳහා මාස තුනකට අධික කාලයක්‌ ගත වන හෙයිනි. එම නිසා කෙටිකාලීන කිසිදු බෝගයක්‌ සඳහා පාවිච්චි කළ නොහැකි මට්‌ටමට එම පොහොර පත්ව තිබේ. එසේ නිෂ්පාදනය කරනු ලබන පොහොර ප්‍රමාණයද සීමිත හෙයින් ලංකා පොස්‌පේට්‌ සමාගම තවම පවතින්නේ ප්‍රධාන පෙළේ ලාභදායී රාජ්‍ය ආයතනයක්‌ ලෙස නොව, මූලික යන්ත්‍ර මගින් මූලික මට්‌ටමේ පොහොර නිපදවන ස්‌ථානයක්‌ ලෙසය. 2010/11/22 වැනිදා රජය විසින් නිකුත් කළ විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ අනුව ලංකා පොස්‌පේට්‌ සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 23 ක්‌ සඳහා විශේෂ අවධානය යොමු කරමින් සංවර්ධනය කිරීමට ආයතනික ව්‍යුහයක්‌ ගොඩනඟා තිබිණි. නමුත් තවම එය ගැසට්‌ පත්‍රයෙන් එහාට පියමං කර නැත.

එප්පාවල පොස්‌පේට්‌ නිධිය තුළින් රට ලබා ගත යුතු දේ නෙළා ගන්නට රට සමත්වී නැතත්, ඒ පිළිබඳව ආයෝජකයන්ගේ උනන්දුව ඇතිවී තිබේ.

වරක්‌ එප්පාවල පොස්‌පේට්‌ නිධිය බදුගෙන පොහොර නිපදවීමට ප්‍රිපොර්ට්‌ මැක්‌ මොරන් සමාගම ඉදිරිපත් විය. තිස්‌ අවුරුදු ව්‍යාපෘතියක්‌ ලෙස සැලසුම් කරන ලද එම යෝජනාව අනුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 9.25 ක්‌ද, මැක්‌මොරාන් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 135.10 කද ලාභයක්‌ ලැබීමට නියමිතව තිබිණි. මෙම සූරාකෑම හමුවේ රට තුළින් විරෝධය එල්ලවීමත් සමඟම එම සැලසුම බිඳ වැටිණි. 1994 පො. එ. පෙ. බලයට පැමිණීමට පෙර එහි ප්‍රධාන සටන් පාඨයක්‌ බවට පත්වූයේද පොස්‌පේට්‌ නිධිය විදේශීය සමාගම්වලට කුණුකොල්ලයට නොවිකුණනු යන්නයි. බස්‌නාහිර පළාතේ මහ ඇමැතිනිය ලෙස එළියදිවුල්වැව ක්‍රීඩාංගණයේ පැවැති රැස්‌වීමකට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පොස්‌පේට්‌ නිධිය විකුණන්නේ නැති බවට ගම්වාසීන්ට පොරොන්දුවක්‌ ලබා දුන්නේය. එසේ වුවත් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්‌ඩුව යටතේ 2005 පෙබරවාරි 22 වැනිදා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්‌කරණ කොමිසම මගින් පොස්‌පේට්‌ නිධිය සංවර්ධනය කිරීම සඳහා සහභාගි වන ලෙස විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර සිටියේය. නමුත් එහිදී ද සිදුවීමට නියමිතව තිබුණේ පොස්‌පේට්‌ නිධිය සහිත භූමිය සමාගමකට බදුදීම මිස රටට ඉන් ප්‍රයෝජන අත්පත් කර ගැනීමක්‌ නොවේ.

මධ්‍යම පැසිපික්‌ ප්‍රදේශයේ නාවුරු හා බානබා දූපත්වල පැවැති පොස්‌පේට්‌ නිධිවලට අත්වූ ඉරණම අනුව එප්පාවල පොස්‌පේට්‌ නිධියේද ඉරණම විසඳන්නට බොහෝ පාලක පැලැන්තිවලට අවශ්‍යව තිබිණි. නාවුරු හා බානබා දූපත් සතු වූ මහඟු පොස්‌පේට්‌ නිධි තමන්ට හිමිවන කොමිස්‌ මුදල් මත කිසිදු විමසීමකින් තොරව 1906 දී පැසිපික්‌ අයිලන්ඩ් නම් බ්‍රිතාන්‍ය සමාගමට විකිණීමට එරට නිලධාරීන් සහ පාලකයන් කටයුතු කළේය. 1968 වනවිට මෙම නිධියේ සියලු පොස්‌පේට්‌ සූරාගත් බ්‍රිතාන්‍ය සමාගම සමස්‌ත ආදායමෙන් 1/700 ක්‌ එරටට ලබාදී නික්‌ම ගියේය. විදේශ සමාගම පොස්‌පේට්‌ නිධිය කොල්ලකන අතරේදී එම දූපත්වලට සිදුකරන ලද හානිය හේතුවෙන් මිල කළ නොහැකි විනාශයක්‌ද එම රටට අත්විය. ලැබුණු සොච්චම මෙන් නොව දැවැන්ත පරිසර හානියක්‌ දූපත්වලට සිදුවී තිබිණි. සිදුවුණු පාඩුවට එරෙහිව දූපත්වාසීහු බ්‍රිතාන්‍ය සමාගම, අධිකරණය ඉදිරියට කැඳවූහ. එංගලන්තයේ පැවැති දීර්ඝතම නඩු විභාගයක්‌ වූ එය අවසන් වුණේ බ්‍රිතාන්‍ය සමාගමට අදාළ දූපත් දෙක සඳහා විශාල වන්දියක්‌ ගෙවන ලෙස නියම කරමිනි.

මෙවන් අත්දැකීම් හමුවේ එප්පාවල පොස්‌පේට්‌ නිධිය, ජාතියේ ධන නිධානයක්‌ කර ගැනීමේ කර්තව්‍යයට දොර හැර ගත යුත්තේ කෙසේද?

මෙම සම්පත ශ්‍රී ලංකාව සතුවන ලෙසත් එය තිරසාර ලෙස භාවිත කිරීමත් එහි පදනම විය යුතුය. පදනම එසේ තබා ගනිමින් පොස්‌පේට්‌ නිධියෙන් ප්‍රයෝජන අත්කර ගත හැක්‌කේ පොස්‌පේට්‌ කුඩු කර විකුණනු වෙනුවට SSP හෙවත් සිංගල් සුපර් පොස්‌පේට්‌ හා TSP හෙවත් ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ නිපදවීම තුළිනි. රටක්‌ ලෙස අප හිරවෙන තැන පැමිණෙන්නේ මෙවිටය. මේ සඳහා අවශ්‍ය තාක්‌ෂණික ඥානය, යන්ත්‍රසූත්‍ර ආදිය ශ්‍රී ලංකාව සතුව නැත. ඒ සඳහා වන විශාල පිරිවැයද රටට බර වැඩිය. මේ සඳහා වන පිළියමක්‌ රට හමුවේ ඉදිරිපත් වී තිබේ.

2002 වසරේදී ජපානයේ මිට්‌සුයි ඉංජිනියරින් ඇන්ට්‌ ෂීප්බිල්ඩින් සමාගම (Mitsui Engineering and shipbuilding co ltd) විසින් එප්පාවල පොස්‌පේට්‌ නිධිය සම්බන්ධ වූයෙන් ආයෝජන උනන්දුවක්‌ දැක්‌වීමය. මෙම නිධියේ සාම්පල ලන්ඩන් පර්යේෂණාගාරවලදී පරීක්‍ෂණයකට භාජන කිරීමෙන් අනතුරුව ආසනික්‌, කැඩ්මියම් වැනි බැර ලෝහ වර්ගවලින් තොරව පොස්‌පේට්‌ ලබා ගත හැකි sබවට එම සමාගම තහවුරු කර ගත්තේය. මෙම සමාගම විසින් සපයන ණය ආධාර මත, සැලසුම්කර, ඉදිකර භාරදීමේ පදනම යටතේ සුපර් පොස්‌පේට්‌ නිපදවීමේ ව්‍යාපෘතියක්‌ ඇතිකිරීමට සැලසුම සකස්‌ විය. මෙම අවස්‌ථාවේදී, කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ විසින් අදාළ යෝජනාව පිළිගත් අතර ඒ සඳහා පහසුකම් ද ලබා දුන්නේය. නමුත් පැවැති ආණ්‌ඩුව මාරුවීම තුළ එම කටයුත්ත ඇනහිටියේය. මේ වන විට ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම තත්ත්වයන් සපුරා තිබිණි. පරිසර ශක්‍යතා වාර්තාව ආදියේ සිට සියලුම තාක්‌ෂණික කටයුතු සඳහා වාර්තා සකස්‌ වී තිබිණි. මුල් අදියරේදී SSP හෙවත් සිංගල් සුපර් පොස්‌පේට්‌ නිපදවීම සඳහා සැලසුම් සකස්‌ කර තිබිණි. අදාළ ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබාදීමට ඡේබික්‌ (JBIC) ආයතනය කැමැත්ත පළකර තිබිණි. තාක්‌ෂණික කාර්මික ඉදිකිරීම් සඳහා ලෝකයේ නමක්‌ දිනා තිබෙන මිට්‌සුයි ඉංජිනියරින් සමාගම සැලසුම සකස්‌ කිරීමත් ඒ සඳහා ණය ලබාදීමට ඡේබික්‌ ආයතනය ඉදිරිපත් වීමත් විසින් මෙම ආයෝජනයේ විශිෂ්ට ස්‌වභාවය තහවුරු කරනු ලැබීය. මිට්‌ෂුයි ඉංජිනියරින් ආයතනය විසින් සිදු කළ ශක්‍යතා වාර්තා ආදිය තිබුණ ද ඡේබික්‌ වැනි කීර්තිමත් ආයතනයක්‌ ණය ලබාදීමේදී තමන් විසින්ම යළිත් ශක්‍යතා කටයුතු කිරීම ස්‌භාවයය. අවසානයේදී ණය මුදල අනුමත වන්නේ එම වාර්තා අනුවය. මේ නිසා මෙම ආයෝජන සැලසුම "දෙවරක්‌ පෙරා" සකස්‌ කරන ලද්දක්‌ ලෙස කිව හැකිය. තාක්‌ෂණය ලබා දීම, තාක්‌ෂණික ශිල්පීන් පුහුණු කිරීම යනාදියද මෙම සැලසුමට අයත් විය. එසේම පසු අවස්‌ථාවේදී TSP හෙවත් ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ නිපදවීම සඳහාද අවශ්‍ය පරිදි යාන්ත්‍රණය සැලසුම් කර තිබිණි. දැනට කෘෂි විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකාව සඳහා සිංගල් සුපර් පොස්‌පේට්‌ පොහොර ප්‍රමාණවත්ය. එය ඵලදායී ලෙස භාවිත කිරීමෙන් අපගේ මූලික පොහොර අවශ්‍යතාව සපිරෙන බව ද එම විද්‍යාඥයන් අවධාරණය කර තිබිණි. සියල්ලට වඩා අවසානයේදී වැදගත්ම දේ වන්නේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට අයත් වීමය. එප්පාවල නිධියෙන් එස්‌. එස්‌. පී. පොහොර ලබාදීම සඳහා යාන්ත්‍රණය සැලසුම් කිරීම, තාක්‌ෂණය ලබාදීම, ණය පහසුකම් සැලසීම ජපාන සමාගම් විසින් සිදු කළත් මේ ව්‍යාපෘතිය අවසානයේ භාරවන්නේ ශ්‍රී ලංකා රජයටය. පළමු පොහොර මිටියේ සිට අවසාන පොහොර මිටිය දක්‌වා ආදායම ලැබෙන්නේ ශ්‍රී ලංකා රජයටය.

අමාත්‍ය ජී. එල්. පීරිස්‌ ගේ කාලයෙන් පසු මෙම ව්‍යාපෘතිය යටගොස්‌ තිබූ අතර නැවත මතුකර දක්‌වන්නේ කර්මාන්ත අමාත්‍ය කුමාර වෙල්ගම විසිනි. 2006 නොවැම්බර් 08 වැනි දින කැබිනට්‌ මණ්‌ඩලය දැනුවත් කිරීම තුළින් එම මතු කිරීම සිදුවිය. 2007/01/10 වැනි දින මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා ගැනීමට පත්‍රිකාවක්‌ ඉදිරිපත් විය.

1. ප්‍රතිපත්තිමය වශයෙන් ජපානයේ මිට්‌ෂුයි ඉංජිනියරින් හා ෂිප් බිල්ඩින් සමාගම සැලසුම් කිරීම, ඉදිකිරීම භාරදීමේ කොන්ත්‍රාත්කරු වශයෙන් පිළිගැනීම සඳහාත්

2. අවසන් සාකච්ඡා සඳහාත් සාකච්ඡා අවසානයේදී ගිවිසුම් අත්සන් කිරීම සඳහාත් අවශ්‍ය වන තාක්‌ෂණික හා මූල්‍යමය පිළිබඳව විස්‌තරාත්මක මත අධ්‍යයනයක්‌ කිරීමේ අධිකාරී බලය ජපානයේ මිට්‌ෂුයි ඉංජිනියරින් හා ෂිප් බිල්ඩින් සමාගමට ලබා දීමටත්.

3. ජපානයේ මිට්‌ෂුයි ඉංජිනියරින් හා ෂිප් බිල්ඩින් සමාගමට පමණක්‌ සුවිශේෂ වූ මාස හයක කාලයක්‌ ඒ සඳහා ලබාදීමටත්.

4. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (සභාපති) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයකු සහ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සමන්විතවූ අමාත්‍ය මණ්‌ඩල සාකච්ඡා කමිටුවක්‌ පත්කිරීමටත්

5. ව්‍යාපෘති කමිටුවක්‌ පත්කිරීමටත්

මෙම කැබිනට්‌ පත්‍රිකාව මගින් අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ඉල්ලා තිබිණි.

2009 ඔක්‌තෝබර් මාසයේදී මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් මෙම යෝජනා සඳහා වන නිරීක්‍ෂණ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 4 වැනි කාරණය සඳහා භාණ්‌ඩාගාර ලේකම්/ නියෝජ්‍ය ලේකම් හෝ වෙනත් අමාත්‍යාංශ ලේකම්වරයකු සභාපති ලෙස පත්කර අදාළ අමාත්‍යාංශයේ ලේකම් එහි සාමාජිකයකු ලෙස පත්කිරීමට තීරණය විය. ඉතිරි කාරණා හතර සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි විය. අවසානයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ බලය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් හෙබි සාකච්ඡා කමිටුව වෙත පැවරිණි.

එතැන් සිට කතාව දිවෙන්නේ "වැඩේ ඇදෙනවා" යන තත්ත්වයටය. මෙම ව්‍යාපෘතියේ අතිශයින්ම පළපුරුද්ද සහිත ආයතන විසින් සැලසුම් සකස්‌ කර තිබුණද ඒ සඳහා යන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 116 ක්‌ බැවින්, එම ආයෝජනය වැඩි බව සමහර සාමාජිකයන්ගේ මතය වී තිබිණි. මෙම ව්‍යාපෘතිය සකස්‌ කර තිබුණේ අතිශයින්ම පාරිසරික ආකර්ෂණවාදී ලෙස හා සමස්‌ත ව්‍යාපෘතිය තුලිත පද්ධතියක්‌ ලෙසය. විදුලිය ජනනය කිරීම, පොස්‌පේට්‌ නිපදවීම සඳහා වන සල්ෆියුරික්‌ අම්ල නිෂ්පාදනාගාරය ද ඊට ඇතුළත්ව තිබිණි. මේ සඳහා අවශ්‍ය ජලය කර්මාන්ත ශාලා බිමට කිලෝමීටර් 2. 2 ක්‌ එහා සිට රැගෙන එන බැවින් ඒ සඳහා වන පොම්පාගාර ද ඇතුළත් වන පරිදි සියල්ල මනාව සැලසුම් කර තිබිණි. ඒ අතරම මෙම කර්මාන්ත ශාලාවේදී TSP හෙවත් ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ නිපදවීමට නොහැකි බවට ද සමහරුන් තර්ක කර තිබිණි. මුල් අදියරේදී සිංගල් සුපර් පොස්‌පේට්‌ නිපදවීමට පමණක්‌ හැකි මෙම කර්මාන්ත ශාලාව TSP නිපද වීම සඳහා ද අවශ්‍ය ලෙස සකස්‌ වී තිබේ. SSP වියදම අඩු නමුත් TSP අවශ්‍යතාවම සපිරෙන පරිදි භාවිත කළ හැකි බව කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.

මේ නිසා ලාභදායි ආකාරයෙන් SSP නිපදවීම පළමු අදියරයේදී බලාපොරොත්තු විය.

මේ සියල්ල අතරේම මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූල්‍ය නිරීක්‍ෂණය ලබා දෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ නියෝජිතයා පෙන්වා දී ඇත්තේ වසර හතරක්‌ තුළ සමස්‌ත ව්‍යාපෘතිය සඳහා වූ ආයෝජනය ආවරණය කර ගත හැකි බවය.

තත්ත්වය එසේ වුවත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයමින් නිලධාරීන් තව තව මෙම කටයුත්ත පමා කරමින් තිබේ. මෙම ව්‍යාපෘතියට බාල්දි පෙරලමින් අඩු ආයෝජන සහිත ව්‍යාපෘති පැමිණියත්, ඒවා සාර්ථකම බව උපකල්පනය කළත් ඒ සඳහා සැලසුම් සකස්‌ කිරීමට තව වසර 2 1/2 ක්‌ පමණ ගතවේ. නමුත් එයින් ඉතිරිවන සොච්චමට වඩා වැඩි ලාභයක්‌, රටට එම වසර දෙකහමාර තුළින් සොයා ගත හැකිය. ඉන්දියාවේ ලබාදුන් සමහර නඩු තීන්දු හේතුවෙන් එරට පොස්‌පේට්‌ කර්මාන්තශාලා එකොළහක්‌ පමණ මේ වන විට වැසී ගොස්‌ තිබේ. එවැනි යල් පැන ගිය කර්මාන්ත ශාලාවක්‌ එප්පාවලට ගෙන ඒමට සමහර නිලධාරීන්ට අවශ්‍ය වී තිබෙන බවට ද රාවයක්‌ පවතී. නමුත් රජය මේ සඳහා තවත් පසුබට විය යුතු නැත. 2005 මහින්ද චින්තනයෙන් පොහොර කර්මාන්තශාලාවක්‌ ඇරැඹීමට ආණ්‌ඩුව ජනතාවට පොරොන්දු විය. පොහොර සහනාධාරය සඳහා විශාල වියදමක්‌ රට මේ වන විටත් දරමින් තිබේ. සියලු කාරණා ගෙන බලා එප්පාවල පොස්‌පේට්‌ නිධියෙන් විපුල ඵල රට ද අත්පත්කර ගත යුතුය යන දැඩි තීරණයේ සිට ආණ්‌ඩුව කටයුතු නොකළහොත් ඒ පමාවට ජාතියෙන් කිසිදාක සමාවක්‌ නොලැබෙනු ඇත.

මනෝඡ් අබයදීර



http://www.divaina.com/2011/08/14/feature18.html

No comments:

Post a Comment