Monday, August 15, 2011

දිවි නැගුමට - ඉදිරි මහ කන්නයේදී ගෙවතු ලක්ෂ 15 ක් වවයි


දිවි නැඟුම වැඩසටහන දැනට ඉතා සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ඉදිරි මහ කන්නයේදී (2011 - 2012) සරු ගෙවතු ලක්ෂ 15 ක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දිවිනැඟුම ප්‍රථම වටය සාර්ථකව අවසන් වී ඇත. දෙවැනි වටය ආරම්භ වෙමින් පවතී.
‘දිවි නැඟුම’ වැඩපිළිවෙල යටතේ ග්‍රාම සේවා වසම් 3110 ක ගෙවතු 1315000 ක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ප්‍රථම වටයේදී කෘෂිකර්ම අංශ කෙරෙහි ප්‍රමුඛත්වය දැක්වූ බවත් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
දැනට පශු සම්පත් විෂය කෙරෙහි ප්‍රමුඛත්වය දක්වන බවක් පවසන ඇමැතිවරයා මේ වැඩසටහන මඟින් අපේක්ෂා කරන්නේ පාරිභෝජනය ඉහළ නැංවීම මඟින් ජනතාවගේ පෝෂණ මට්ටම දියුණු කිරීම බවත් පෙන්වා දෙයි.
ඒ අනුව නිවසේ පුද්ගලයන් සරිලන පරිදි පශු සම්පත් ලබාදෙන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දෙයි.
ඇමැතිවරයා මේ අදහස දැක්වූයේ දිවි නැඟුම වැඩසටහන පිළිබඳව කොළඹදී පැවැති ප්‍රගති සමාලෝචන සම්මන්ත්‍රණයකදීය.

දිවි නැඟුම වැඩසටහනේ දෙවන තෙවන හා සිව් වන වටවල දැනුම්වත් කිරීමේ හා පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.

දිවි නැඟුමේ ප්‍රථම වටය සාර්ථකව අවසන් වී ඇති අතර දෙවන වටය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පශු සම්පත් අමාත්‍යාංශය මඟින් දිවි නැඟුමට සම්බන්ධ සෑම පවුලකට කුකුළු පැටවුන් 10 ක් බැගින් ලබාදෙන අතර කුකුළු පැටවුන් නිපදවන අයට ද ඉහත ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කෙරේ.

ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 1300 ක වියදමින් ක්ෂේත්‍ර 14 ක් ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. වතු ජලාශ 50 ක මසුන් බෝ කරනු ඇත. පවුල් 6000 කට පමණ ඉන් සෙත සැලසේ. කර්මාන්ත අංශය යටතේ පුද්ගලයන් 6000 ක් පුහුණු කෙරේ. කර්මාන්ත පුහුණු ප්‍රදර්ශන 6 ක් පවත්වන අතර ප්‍රථම ප්‍රදර්ශනය පසුගියදා හෝමාගමදී පවත්වන ලදී.

කිතුල් නිපැයුම්වල යෙදෙන අයට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබාදීමට ද දිවි නැඟුම යටතේ පියවර ගෙන තිබේ. ඒ අනුව ලබාදෙන ඇඳුම් කට්ටල ගණන 1500 කි. වියදම රුපියල් ලක්ෂ 750 කි. ඒ මුදල් ලබාදීමට ද ඇමැතිවරයා මෙහි දී එකඟත්වය පළ කළේ ය.


http://www.silumina.lk/2011/08/14/_art.asp?fn=aa11081415

No comments:

Post a Comment