Monday, October 3, 2011

මහාමාර්ග හා වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනයට ජපානයෙන් මිලියන 9,940 ක්‌

පසුගිය කාලය තුළ "දිවයිනට" බලපෑ අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් උතුරුමැද, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල මහාමාර්ග හා වාරි යෝජනා ක්‍රම පුනරුත්ථාපනය කර, එම පළාත්වල ජනතාවගේ ආර්ථික හා සමාජ කටයුතු යථා තත්වයට පත්කිරීමේත්, එම ප්‍රදේශ ස්‌වාභාවික ආපදාවලින් ආරක්‍ෂාකර තිරසාර ජීවන රටාවක්‌ සහිත පරිසරයක්‌ ඇතිකිරීමේත් අරමුණින් ක්‍රියාත්මක කර ඇති හදිසි ආපදා පුනරුත්ථාපන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 9,940 ක්‌ හෙවත් යෙන් මිලියන 7,000 ක ණය මුදලක්‌ ලබාදීමට ජපාන රජය පියවර ගෙන ඇත.

එම ණය මුදල වසරකට 0.01% ක සහනදායී පොලී අනුපාතිකයක්‌ යටතේ වසර 10 ක සහන කාලයක්‌ ද සමඟ වසර 40 කින් ආපසු පියවීමට හැකිවන අයුරින් ලබාදෙන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය කියයි.

ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශය, ජලසම්පත් කළමනාකරණ හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ජාතික මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව උතුරුමැද, මධ්‍යම හා නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, සහ උතුරු, නැගෙනහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු, මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි.

ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කූණියෝ තකහෂි මහතාද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාද ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත අකිරා ෂිමුරා මහතාද මෙම ණය ආධාර ගිවිසුමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත

http://www.divaina.com/2011/10/03/news18.html

No comments:

Post a Comment