Saturday, January 28, 2012

කැළිකසළ ගැටලුව කළමනාකරණයට රජය රු. බිලියන 5 ක්‌ වෙන්කර තිබෙනවා

- ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා
රඡ්ගම කාබනික පොහොර නිෂ්පාදන සංකීර්ණය විවෘත කරමින් කියයි


සිරිමන්ත රත්නසේකර, අක්‌මීමන - කේ. මතිලාල්, රත්ගම - සංඛ විඡේසූරිය

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ලොව දියුණු රටක්‌ බවට පත්කිරීමේ ගමනේදී කැළි කසළ ගැටලුව මනා කළමනාකරණය ඉතා වැදගත් කාර්ය භාරයක්‌ ලෙස වත්මන් රජය අවබෝධ කරගෙන ඇති බවත්, එහෙයින් මෙම වසරට පමණක්‌ රුපියල් බිලියන 5 ක මුදලක්‌ ඒ සඳහා රජය වෙන්කර ඇති බවත් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.

සෑම පළාත් පාලන ආයතනයකටම සම්පත්මය හා තාක්‌ෂණික ඥනය ලබාදීම තුළින් ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීමට රජය කැපවී කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම අදහස්‌ පළ කළේ පෙරේදා (26 වැනිදා) රඡ්ගම මොන්රෝවියාවත්ත කාබනික පොහොර නිෂ්පාදන සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්‌වෙමිනි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කුණු කසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක්‌ ලෙස ඉදිකළ මොන්රෝවියාවත්ත කාබනික පොහොර නිෂ්පාදන සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 85 ක්‌ වියදම් කර ඇති අතර එමගින් ගාල්ල මහ නගර සභාව රඡ්ගම ප්‍රාදේශීය සභාව, අම්බලන්ගොඩ නගර සභාව, හික්‌කඩුව නගර සභාව, බලපිටිය ප්‍රාදේශීය සභාව, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව, මහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතේ කැළි කසළ ගැටලුවට විසඳුම් ලැබෙනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේද පැවසීය.

කැළි කසළ ගැටලුව රට තුළින් තුරන් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙම වසර තුළදී පමණක්‌ රුපියල් බිලියන 05 ක මුදලක්‌ අප අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා. ඉවතලන කුණු කසළ නිසි ලෙස කළමනාකරණය කර එමගින් ආදායම් උපයාගත හැකි ක්‍රියාමාර්ගයක්‌ අප සාර්ථකව කරගෙන යනු ලබනවා.

අද දවසේ විවෘත කෙරෙන රඡ්ගම මොන්රෝවියාවත්ත කාබනික පොහොර නිෂ්පාදන සංකීර්ණයට රුපියල් ලක්‌ෂ 800 කට වැඩි මුදලක්‌ මේ වනවිට වැයකර තිබෙනවා. මෙයට අවතීර්ණ වෙන මාර්ගය ඉදිකිරීම සඳහා තවත් රුපියල් ලක්‌ෂ 200 ක මුදලක්‌ ප්‍රාදේශීය සභාවට අද (26 වැනිදා) ලබා දෙනවා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‌ෂ 1000 ක්‌ වැයකර තිබෙනවා.

මෙම සංකීර්ණය මගින් දිනකට කසළ ටොන් 40 ක්‌ ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. ප්‍රතිචක්‍රීයකරණය කරන කසළ තුළින් හොඳ ආදායමක්‌ ප්‍රාදේශීය සභාවට උපයා ගැනීමට හැකි වෙනවා.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් රුපියල් ලක්‌ෂ 6600 ක්‌ වැයකර නොදිරන කැළි කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා මෙම ස්‌ථානයට යාබද කසළ රඳවනයක්‌ ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා දකුණු කොරියානු රජයෙන් ණය මුදලක්‌ අප ලබාගෙන තිබෙනවා. එහි වැඩ අවසන් කළ පසුව මුළුÊදකුණු පළාතේම කැළි කසළ ගැටලුවට විසඳුම් ලබාගත හැකියි.

රට තුළ නීතිය හා සාමය නැති කිරීමට රජයක්‌ ලෙස කිසිවකුට ඉඩ ලබාදීමට අප සූදානම් නැහැ.


http://www.divaina.com/2012/01/28/news17.html

No comments:

Post a Comment