Tuesday, January 31, 2012

Fake Doctors to be nabbed (2 items)

ව්‍යාජ වෛද්‍යවරුන්ට සිර දඬුවම් ලබාදීමේ නීති කෙටුම්පත් සැකසෙයි

සන්ධ්‍යා කරුණාරත්න

වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනික පුද්ගලයන්ට (ව්‍යාජ වෛද්‍යවරුන්ට) එරෙහිව සිර දඬුවම් නියම කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට සකස් කරමින් පවතියි. වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනික පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සුළු දඩයක් නිසා එම පුද්ගලයන් දඩය ගෙවා ගොස් නැවතත් ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවල නිරත වන බවට වාර්තා වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.


මේ පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිවල ලිහිල්භාවය නිසා මෙසේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාරවල යෙදීමට ඔවුහු කටයුතු කරති.


මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් පමණ මෙරට සිටින බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ යම් ගැටලුවක් පවතින බවත් පැවැසූ ඒ මහතා මෙසේ සිරදඬුවම් නියම කිරීම මඟින් මෙරට සිටින ව්‍යාජ වෛද්‍යවරු ඉවත් කළ හැකි බවත් පැවැසීය.


රෝගී ප්‍රතිකාර සේවයේ යෙදෙන මෙවැනි වංචනික පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් වසර 2007 දී ආරම්භ කළත් එය වර්තමානය වන විට ක්‍රියාත්මක වීමේ අඩුවක් පවතින්නේ යැයි ද වෛද්‍ය පාදෙනිය මහතා කීය.


සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව එක්ව මේ පුද්ගලන්ට එරෙහිව සිර දඬුවම් නියම කිරීමේ කටයුතුවලට පියවර ගත යුතු යැයි ද වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රකාශ කළේය.


සෑම පොලිස් කොට්ඨාසයකම රෝගී ප්‍රතිකාර සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ තොරතුරු ගෙන සංගණනය කිරීම මඟින් ව්‍යාජ වෛද්‍යවරුන් කවුදැයි සොයා ගත හැකිය.


බටහිර වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, හෝමියෝපති වෛද්‍යවරු ලෙස නීති්‍යානුකූලව සේවයේ යෙදෙන වෛද්‍යවරු කොට්ඨාසයක් සිටිති. මෙසේ නීති්‍යානුකූලව ලියාපදිංචිව නොමැති පුද්ගලයන් ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස හඳුනාගන්නා අතර ඔවුන්ගෙන් මේ සමාජයට විශාල අහිතකර බලපෑමක් සිදු වන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.


රෝගීන්ගේ ජීවිත අවදානම් මට්ටමකට පත්කිරීම මේ පුද්ගලයන් නිසා සිදු වන අතර මොවුන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හා රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට බලපෑමක් සිදු කරන බව ද හෙතෙම කීය.

http://www.dinamina.lk/2012/01/31/_art.asp?fn=n12013113


රට පුරා විසිරී සිටින හොර වෛද්‍යවරුන් අල්ලන මෙහෙයුමක්

ශ්‍රියානි විජේසිංහ

රට පුරා විසිරී සිටින හොර වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොමැති වෛද්‍යවරුන් 40,000ට අධික සංඛ්‍යාවක් රට පුරා විසිරී සිටින බවට මීට වසර පහකට පමණ පෙර ‍පොලීසිය කරන ලද සමීක්ෂණයකදී හෙළි වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ස්නායු ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.


වෛද්‍ය සභාවක ලියාපදිංචි නොවූ පුද්ගලයකු වෛද්‍ය සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් විට සුළු දඩ මුදලක් නියම කිරීම දැනට පවතින නීතිය බැවින් එම නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය යෝජනා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද සංගමය කටයුතු කරන බවද හෙතෙම කීය.


මීට අමතරව වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි නොවී වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ නම් ජංගම දුරකතන ඔස්සේ කෙටි පණිවුඩ මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවද වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1315:fety&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment