Wednesday, January 25, 2012

විදුලිය අපව පාලනය කළ යුගය දැන් අවසන්

- ඇමැති පාඨලී චම්පික රණවක
විදුලිබලය හසුරුවන ක්‍රමෝපායයන් අප සතුව නොතිබුණ නිසා පසුගිය කාලයේ විදුලිබලය අපව පාලනය කළද "සුහුරු මනු" වැනි නවීන තාක්‌ෂණික මෙවලම් හරහා විදුලිය අවශ්‍ය පරිදි පාලනය කිරීමට හැකියාව ලැබී ඇතැයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලංකා පෞද්ගලික විදුලි සමාගම මගින් හඳුන්වාදුන් සුහුරු මනු නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු කමිටු ශාලා 01 හි පැවැති උත්සවයකදීය.

ලංකා පෞද්ගලික විදුලි සමාගමෙහි (ලෙකෝ) සභාපති චන්දන හපුතන්ත්‍රි මහතා ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටි අතර එහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා,

අද විදුලිබල ඉතිහාසයට වැදගත් දිනයක්‌. විදුලි ක්‌ෂේත්‍රය අද වඩාත් කතාබහට ලක්‌වෙන යුගයක්‌. අප විසින් අද ගනු ලැබුවේ ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන ගමනේ එක්‌ පියවරක්‌. ලංකා විදුලි පුද්ගලික සමාගම බිහිවන අවස්‌ථාවේදී විදුලිය පුද්ගලීකරණය වුණා කියලා බොහෝ පිරිස්‌ බියවුණා. නමුත් අද ලෙකෝ ආයතනයට හැකිවෙලා තිබෙනවා විදුලි ක්‌ෂේත්‍රයේ විප්ලවීය වෙනසක්‌ ඇති කරන්න. මුල් කාලීනව ගෘහ ආලෝකකරණයට පමණක්‌ යොමුවූ විදුලියට, වාණිජමය වටිනාකමක්‌ දෙමින් විදුලි මීටර් එකතු වුණා. ඒ තත්ත්වය තවත් සංවර්ධනය කරමින් ස්‌වයංක්‍රීය විදුලි මීටර්Êලබාදෙන්න හැකි වුණා. ඒ වගේම වසර 2010 දී නෙට්‌ මීටරින් ක්‍රමය හඳුන්වාදීමෙන් තම නිවෙස්‌වලම විදුලිය නිපදවාගෙන, අතිරික්‌තය ලංවිමට හෝ ලෙකෝ ආයතනයට විකිණීමේ හැකියාව අපි පාරිභෝගික ජනතාවට ලබා දුන්නා. අද අපි මේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මූලිකව ආරම්භ කළ "සුහුරු මනු" ව්‍යාපෘතිය ඉදිරියේදී කොළඹ ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශයන්ටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ, මහනුවර, කුරුණෑගල, කිරිබත්ගොඩ, කැලණිය වැනි ප්‍රදේශයන් මේ තත්ත්වයට ගෙන එන්න නවීකරණ කටයුතු මේ වන විට සිදු කරනවා. අනාගත පරපුරට වඩාත් කාර්යක්‌ෂම ඵලදායී විදුලි සේවාවක්‌ ලබාදීම සඳහා අද ආරම්භ වූ මෙම සුහුරු මනු ව්‍යාපෘතිය මහෝපකාරී වනු ඇතැයි පැවැසීය.

මෙම සුහුරු මනු නියමු ව්‍යාපෘතියේ මංගල අවස්‌ථාව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී සුහුරු මනු පිළිබඳ ජාත්‍යන්තර සම්මත අත් පොතේ නිර්මාතෘ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශ පීඨාධිපති කේ. ලියනගේ මහතාගේ දේශනයක්‌ද පැවැත්විණි.


http://www.divaina.com/2012/01/25/news27.html

No comments:

Post a Comment