Tuesday, January 31, 2012

තහනම් පළිබෝධ නාශකයක්‌ ඩෙංගු මැඩීමට ළිංවලට යොදලා

ඒමන්ති මාරඹේ - ධම්මික සල්වතුර

මනුෂ්‍ය ආහාර හා පානීය ජලයට එක්‌ කිරීම අන්තර්ජාතික වශයෙන් තහනම් කර ඇති "ටෙම්පෝස්‌" ((Temephos) නමැති පළිබෝධ නාශකය ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ඉහළ නිලධාරීන් පිරිසක්‌ විසින් මදුරු කීටයන් විනාශ කිරීම සඳහා මඩකලපුව, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ළිං 9000 කට අධික සංඛ්‍යාවකට පසුගියදා යොදා ඇතැයි පරිසරවේදීහු පවසති.

මනුෂ්‍ය ශරීරයට අහිතකර මෙම පළිබෝධ නාශකය ළිංවලට යෙදීමෙන් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු මෙන්ම පරිසරයට හානිකර තත්ත්වයක්‌ද හට ගනු ඇති බව පෙන්වා දෙන එම පරිසරවේදීන් මෙම විනාශකාරී ක්‍රියාව පිළිබඳව පරීක්‌ෂණ පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිsත ඉල්ලීමක්‌ද කර තිබේ.

මඩකලපුවෙහි සේවය කරන පරිසරවේදීයකු වන මහේෂ් එදිරිමාන්න මහතා විසින් 2012-01-01 දා සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යවන ලද ලිsපියකින් පෙන්වා දී ඇත්තේ "ටෙම්පෝස්‌" නමැති මෙම පළිබෝධ නාශකය ලෝක පරිසර ආරක්‌ෂක සංවිධානය විසින් 2011 වසරේ පෙබරවාරි 25 වැනිදා අවලංගු කර ඇති පළිබෝධ නාශක ලැයිස්‌තුවටද ඇතුළත් වී ඇති බවයි.

ලෝක පරිසර ආරක්‌ෂක සංවිධානය විසින් නිකුත් කර ඇති "ටෙම්පෝස්‌" පළිබෝධනාශකය පිළිබඳ දත්ත සටහනෙහි එය කිසිසේත් පානීය ජලයෙහි භාවිත නොකළ යුතු බවත් එහි මාත්‍රාව වැඩි වූ විට මිනිසාට ස්‌නායු ආබාධ වමනය, කරකැවිල්ල, අධික ලෙස දහඩිය දැමීම, මාංශපේශී ආබාධ, පාචනය, ස්‌වසන ආබාධ යන රෝගබාධා ඇති වී මරණය පවා සිදු විය හැකි බව දක්‌වා තිබේ. එමෙන්ම මෙම පළිබෝධ නාශකය නිවෙස්‌ ආශ්‍රිතව භාවිත නොකළ යුතු බවද එහි දක්‌වා තිබේ.

එමෙන්ම "ටෙම්පෝස්‌" පරිසරයට නිරාවරණය වීමෙන් මත්ස්‍යයන්, කුරුල්ලන් හා පරිසරයට හිතකර කෘමීන්ට හානිදායක බවද එම දත්ත සටහනෙහි පැහැදිලිව දක්‌වා තිබේ.

මේ සම්බන්ධ "දිවයින" විසින් සිදු කළ විමසුමකදී ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ඉහළ නිලධාරියෙකු පවසා සිටියේ "ටෙම්පෝස්‌" පළිබෝධ නාශකය කාලයට සිටම මදුරු කීට නාශකයක්‌ වශයෙන් ළිංවලට යොදන බවත් එය යෙදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයද දැනුවත් වී ඇති බවයි.

එහෙත් පරිසරවේදීන් පෙන්වා දෙනුයේ මෙම පළිබෝධ නාශකය ළිං වැනි මනුෂ්‍යයා හා ගැටෙන පරිසරයට නිරාවරණය වන මාධ්‍යයන්ට යෙදීම ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති බවයි.

දකුණු ඇමරිකානු රටක්‌ වන බ්‍රසීලය ඩෙංගු රෝගය පතුරුවන "ඊඩිස්‌ ඊජිප්ටයි" මදුරු විශේෂය මර්දනය කිරීම සඳහා 1967 වසරේ සිට මෙම "ටෙම්පෝස්‌" පළිබෝධ නාශකය යොදා ගෙන ඇතත් පසුව එයට එම මදුරුවන් ඔරොත්තු දෙන බව අනාවරණය වී තිබේ.

මේ අතර ඩෙංගු රෝගය වැඩි වශයෙන් පැතිර පවතින කොළඹ නගර සභා සීමාව තුළ කාණු සඳහා පමණක්‌ මදුරු කීට නාශකයක්‌ වශයෙන් මෙම පළිබෝධනාශකය යොදා ගන්නා බව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.


http://www.divaina.com/2012/01/31/news07.html

No comments:

Post a Comment