Saturday, January 28, 2012

වෙරළ සංරක්‍ෂණය හා ජනතාවගේ ප්‍රයෝජනයට උද්‍යාන හා හරිත තීර සාදයි

අනුර බාලසූරිය

වෙරළ සංරක්‍ෂණය හා ජනතාවගේ ප්‍රයෝජනය සඳහා උද්‍යාන හා හරිත තීර වෙරළේ ඇති කිරීමට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම වෙරළ උද්‍යාන දහයක්‌ පමණ බස්‌නාහිර, දකුණ හා නැගෙනහිර මුහුදු තීරයේ ඇති කිරීමට සැලසුම් කර ඇති අතර දැනට මට්‌ටක්‌කුලිය කාකදූව වෙරළේ හා මාතර සකස්‌ කර ඇතැයි වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සැලසුම්) ගාමිණී හේවගේ මහතා සඳහන් කළේය.

පටු වෙරළ තීර පවතින ස්‌ථානවල හරිත තීර (ග්‍රීන් බෙල්ට්‌) ඇති කෙරෙන අතර මෙම හරිත තීර නාවික හමුදාවේ ද සහාය ඇතිව සකස්‌ කෙරෙනු ඇත.

තරුණ, ළමා, වැඩිහිටි සැමට ක්‍රීඩා කිරීමට, විනෝද වීමට හා විවේක ගැනීමට හැකිවන අයුරින් පහසුකම් සහිතව මෙම වෙරළ උද්‍යාන ඇති කෙරෙන අතර එහි ආරක්‍ෂිතව ජල ක්‍රීඩා කිරීමට හැකිවන ස්‌ථාන සකස්‌ කෙරෙන බවත් ගාමිණී හේවගේ මහතා පැවසීය.

එමෙන්ම මුහුදු ඛාදනය සිදුවන ස්‌ථානවලට ගල්වැටි යොදනවා වෙනුවට ඈත මුහුදේ සිට නෞකාවක්‌ මගින් වැලි පොම්ප කර කෘත්‍රිම වෙරළක්‌ නිර්මාණය කිරීමටත් පියවර ගෙන තිබේ.

හඳුනාගෙන තිබෙන මෙවැනි ස්‌ථානවලට මුහුදින් වැලි පොම්ප කර වැලිවලින් වෙරළ පෝෂණය කෙරෙනු ඇත.

එම ස්‌ථාන නැවත ඛාදනයට ලක්‌ නොවීමට මුහුදේ දියකඩන සකස්‌ කෙරෙන අතර මෙම පියවර නිසා වැලිවලින් පෝෂණය වූ වෙරළක්‌ නිර්මාණය කෙරේ.

දික්‌ඕවිට දැනට මේ අයුරින් වෙරළ සකස්‌ කර ඇති අතර මාරවිල කිලෝමීටර් 10 ක්‌ වැලි පොම්ප කර සකස්‌ කිරීමටත් සැලසුම් කර ඇත.

මෙම කටයුතු සඳහා වසරකට රජය මගින් රුපියල් මිලියන 500 ක මුදලක්‌ වෙන්කර ඇතැයි ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.


http://www.divaina.com/2012/01/28/news20.html

No comments:

Post a Comment