Wednesday, January 25, 2012

පාසිකුඩාහි සියලූම සංචාරක හෝටල්වල ඉදිකිරීම් මේ වසරේ අවසන් කළ යුතුයි

- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ශ්‍යාම් නුවන් ගනේවත්ත පාසිකුඩා සිට

මෙම වසර අවසානයට පෙර පාසිකුඩා සංචාරක කලාපයේ සියලුම සංචාරක හෝටල් ඉදිකර අවසන් කළ යුතුයෑයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ එම හෝටල් හිමියන්ට දැනුම් දුන්නේය.

පාසිකුඩා සංචාරක කලාපයේ හෝටල් 14 ක්‌ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර දැනට වැඩකටයුතු අවසන් කර ඇත්තේ එක්‌ සංචාරක හෝටලයක්‌ පමණි. සෙසු සංචාරක හෝටල්වල ඉදිකිරීම් කටයුතු ඉදි කෙරෙමින් පැවතියත් ඇතැම් හෝටල්වල ඉදිකිරීම් කටයුතු බොහෝ ප්‍රමාද වීම පිළිබඳව අවධානය යොමුකළ ඇමැතිවරයා ඉදිරි මාස දෙක ඇතුළත එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතියක්‌ නැත්නම් එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය. එසේ වුවහොත් එම ඉඩම් නැවත රජයට ලබාගෙන හෝටල් ඉදිකිරීම සඳහා වෙනත් ආයෝජකයන්ට ලබාදීමට සිදුවනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ නිසා නිසි කලට වෙලාවට මෙම සියලු සංචාරක හෝටල්වල ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස ඇමැතිවරයා සියලු හෝටල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

පාසිකුඩා සංචාරක කලාපය උසස්‌ තත්ත්වයේ විධිමත් සංචාරක කලාපයක්‌ බවට පත් කිරීම සඳහා රජය විසින් සියලු යටිතල පහසුකම් ලබාදෙන බවත් ඒ සඳහා දැනටමත් රුපියල් මිලියන 275 ක මුදලක්‌ වියදම් කර ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මේ වසර (2012) තුළ තවත් මිලියන 375 ක මුදලක්‌ රජය විසින් පාසිකුඩා සංචාරක කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන බවද ඇමැතිවරයා කීවේය.

හෝටල් හිමියන් හා ඇමැතිවරයා අතර මෙම සාකච්ඡාව පැවැතියේ ඊයේ දවල් පාසිකුඩාහි මාළු මාළු සංචාරක හෝටලයේදීය. මෙම අවස්‌ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ උසස්‌ නිලධාරීහු රැසක්‌ද සහභාගි වූහ.


http://www.divaina.com/2012/01/25/news14.html

No comments:

Post a Comment