Friday, January 27, 2012

කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් පෙරේදා (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ උපදෙස් දී ඇත.

මිනිස් වාසස්ථාන අවම ප්‍රදේශවලින් ඉඩම් තෝරා ගනිමින් අවම පිරිවැයකින් හා උසස් ප්‍රමිතියකින් යුක්තව මේ අධිවේගී මාර්ගය තැනීමට රජය බලාපොරොත්තු වන බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

රටක් සංවර්ධනය කරා යන ගමනේදී අධිවේගී මාර්ග පැවතීම ප්‍රධානතම යටිතල පහසුකම් සාධකය වශයෙන් ආයෝජකයන් පවා වැඩි අවධානයක් යොමු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජන සෙත සළසමින් රටේ මහාමාර්ග පද්ධතිය විධිමත් කිරීම තම ඒකායන අරමුණ බව පැවැසීය.

එමෙන්ම අධිවේගී මාර්ගයන් තැනීමෙන් ලක්වාසී සියලුම දෙනාටම යහපතක් සිදු වන බවත්, මාර්ග තදබදය අවම කරගනිමින් කෙටි කාලයක් තුළ දිගු දුරක් ගමන් කිරීමට හැකියාව ලැබීමත් සමඟම තම කාර්යයන් පහසු කර ගැනීමට ඉන් ජනතාවට අවස්ථාව උදා වන බවත් මෙහිදී පෙන්වා දුන්නේය. සංචාරක කර්මාන්තයේ දියුණුවක් අත් කර ගනිමින් සිටින මෙවන් මොහොතක ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් සමීපව ලබා ගැනීම සඳහා අධිවේගී මාර්ගයන් බෙහෙවින් මහෝපකාරී වේ.

කිලෝමීටර් 98ක් පුරා දිවෙන මේ මාර්ගයේ ගමන් ගන්නා අතරවාරයේ විනාඩි 45ක් වැනි කෙටි කාල පරාසයක් තුළ කොළඹ සිට මහනුවරට ළඟා වීමේ හැකියාව ලැබෙන අතර, කොළඹ සිට මීරිගමටත්, මීරිගම සිට කුරුණෑගලටත්, එතැන් සිට මහනුවරටත් අදියර තුනක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය.

මේ අධිවේගී මාර්ගය තැනීමත් සමඟම උඩුගම්පොළ සිට ජා-ඇළටත්, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයටත්, කටුනායක සිට වේයන්ගොඩ නගරයන් වෙතට කඩිනමින් ළඟා වීමේ හැකියාව පවතී.

කොළඹ – මහනුවර මාර්ගයේ ගමන් ගන්නාවිට කෑගල්ල නගරයේදී අධික වාහන තදබදයකට මුහුණ පෑමට සිදු වන නිසා නගරයට ඇතුළුවීමට හා පිටවීමට ;වනත් විකල්ප මාර්ග සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පළමුව කොළඹ සිට මහනුවරට ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය යාපනය හා ත්‍රිකුණාමලය වෙත ඉදිරියේදී දීර්ඝ කිරීමට අදාළ කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, ඒ සම්බන්ධයෙන් වූ මූලික අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද තීරණය කෙරිණි.

මෙරටට ක්‍රමවත් අධිවේගී මාර්ගයන්ගේ අවශ්‍යතාව, දියුණු රටවල ආභාෂයන් ද සමඟින් ගෙන හැර දක්වමින් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණු අතර, රටේ සියලුම අධිවේගී මාර්ගයන් කොළඹ – පෑලියගොඩ කේන්ද්‍ර කර ගනිමින් විහිදුවා හැරීමටත් රජය බලාපොරොත්තු වේ.

දේශීය මහාමාර්ග ක්‍ෂේත්‍රයට අලුත් මුහුණුවරක් එක් කරමින් ඉදිකරනු ලැබූ පළමු අධිවේගී මාර්ගය වූ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අදහස් පළ කරමින්, එම අධිවේගී මාර්ගයෙන් දිනකට රථවාහන 8000කට වඩා ධාවනය වන බව පෙන්වා දුන් අතර සති අන්තයේදී එම ප්‍රමාණය පහළොස් දහස ඉක්මවන බවද අනාවරණය විය.

බැසිල් රාජපක්‍ෂ, අනුර පි‍්‍රයදර්ශන යාපා, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරුන් සමඟ ඉංජිනේරුවරුන් හා නිර්මාණකරුවන් ඇතුළු පිරිසක් ද මේ සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.


http://www.dinamina.lk/2012/01/26/_art.asp?fn=n12012611

No comments:

Post a Comment