Saturday, January 28, 2012

ළමා හා කාන්තා හිංසන අවම කිරීමට නීතිය සංශෝධනය කර බලාත්මක කළ යුතුයි

තුෂාරී කළුබෝවිල

දරුවන්ට සහ කාන්තාවන්ට හිංසන සිදු කරන අපරාධකරුවන්ට එරෙහි නීතිය සංශෝධනය කර බලාත්මක කරන තුරු මේ රටේ ශීඝ්‍රයෙන් ඉහළ යන ළමා හා කාන්තා හිංසන අවම කළ නොහැකි බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවසීය. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන්ම ඊට සම්බන්ධ ආයතන එක්‌ව දරුවන්ගේ හා කාන්තාවන්ගේ රැකවරණය උදෙසා දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන නමුත්, නීතියේ රැහැනට හසුවන හා හසුකර දෙන්නා වූ අපරාධකරුවන් නීතියේ යම් යම් හිඩැස්‌වලින් රිංගා දඬුවම් නොලබා නැවත නැවතත් අපරාධ සිදුකිරීමෙහි නියුතුව සිටින බව ඇමැතිවරයා කීවේය.

ගතවූ වසර හතරේදී ළමා අපයෝජන 5000 කට ආසන්න ප්‍රමාණයක්‌ සිදුවූ බවත්, ළමා හිංසන හා අපයෝජන පිළිබඳ පැමිණිලි 20000 කට වැඩි සංඛ්‍යාවක්‌ පසුගිය වසරේදී පමණක්‌ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 දුරකථන සේවාවට ලැබී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික කෝන්තර දරුවන්ගෙන් පිරිමසා ගැනීමේ ප්‍රවණතාව හේතුවෙන් බිළිඳු දරුවන් මරා දැමීමේ සිදුවීම් ද පසුගිය කාලයේ වැඩි වශයෙන් වාර්තා වූ බව හෙතෙම පැවැසීය.

එසේම ගෘහස්‌ථ හිංසනය, කාන්තාවන් අපයෝජනයට, අතවරවලට හා දූෂණයට ලක්‌ කිරීමේ සිදුවීම් ද ඉහළ ගොස්‌ ඇති බව ඇමැතිවරයා කීවේය.

මේ වනවිටත් විශේෂිත කමිටුවක්‌ මගින් ළමා හා කාන්තා හිංසන අවම කර ගැනීමට මෙන්ම ඊට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ

රැහැනින් මිදී යන්නේ කෙසේද යන්න විමර්ශනයක්‌ සිදුකරන බවද ඇමැතිවරයා ඊයේ (27 වැනිදා) ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.


http://www.divaina.com/2012/01/28/news06.html

No comments:

Post a Comment