Tuesday, January 31, 2012

හරිතාගාර වායු මුදාහැරීමේ ප්‍රමාණයන් ගැන ලේඛනයක්‌ සැකසීම අරඹයි

තුෂාරි කළුබෝවිල

ගෝලීය උණුසුම ඉහළ නැංවීම කෙරෙහි සෘජුවම බලපෑම් ඇති කරන හරිතාගාර වායු වායුගෝලයට මුදාහැරීමේ ප්‍රමාණයන් හා රටවල් සම්බන්ධයෙන් පර්යේෂණාත්මක ලේඛනයක්‌ සැකසීම ඊයේ (30 වැනිදා) ආරම්භ කෙරිණි.

එක්‌සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (ඹභFCCC) හා ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශය එක්‌ව මෙම වැඩසටහන ආසියානු රටවල් 30 කට වැඩි පරිසර නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ කොළඹදී අරඹනු ලැබීය.

ඒ ඒ රටවල නියෝජිතයන් දේශගුණ විපර්යාස පිළිබඳ ජාතික සන්නිවේදන වාර්තා සකස්‌ කර පාර්ශ්ව සම්මේලන වෙත ඉදිරිපත් කළ යුතුය. හරිතාගාර වායු ලේඛනගත කිරීම මෙම වාර්තා සැකසීමේ ප්‍රධානතම අංගය වේ.

හරිතාගාර වායු බැහැර කිරීම පිණිස මෙම වැඩසටහනට දායක වන පාර්ශ්වකරුවන් කටයුතු කළ යුතුව ඇත.
ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට සන්නිවේදන වාර්තා සැකසීම මෙම රටවල පාර්ශ්වකරුවන්ගේ පර්යේෂණ කාර්යයේ අවසාන ලේඛනය වේ. මෙම පර්යේෂණය සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීම හරිතාගාර වායු ලේඛනගත කිරීමේ විශේෂඥයන් විසින් සියලු රටවල පාර්ශ්වකරුවන් උදෙසා ඊයේ ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්‌ථාවට එක්‌සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ සභාපති ඇතුළු නියෝජිතයන් පිරිසක්‌, පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්‍ෂ අනෝජා හේරත් මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි විය.

No comments:

Post a Comment