Sunday, January 29, 2012

ලොව ආර්ථික වර්ධන වේගය අතින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

සංවර්ධනයට කෝටි 29,000 ක් වෙන් කිරීමට යෝජිතයි

නිහාල් පී. අබේසිංහ

ලෝකයේ රටවල් අතර ආර්ථික වර්ධන වේගය අතින් ශ්‍රී ලංකාව ලබන වසරේදී දෙවැනි ස්ථානය දිනා ගනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් මේ තොරතුරු අනාවරණය කළ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් පෙන්වා දුන්නේ; ලොව ආර්ථික වර්ධන වේගය අතින් 2011 වසරේදී ශ්‍රී ලංකාව හතර වැනි ස්ථානයට පත්ව සිටි බවයි.

චීනයට පසුව ලොව වේගවත්ම ආර්ථික වර්ධන වේගය අත්කැර ගෙන සිටින ශ්‍රී ලංකාවට 2012, 2013 සහ 2014 යන වසර තුන සඳහා සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 29,000 ක් වෙන් කිරීමට යෝජිතය. දිවි නැඟුම වැඩ සටහන යටතේ 2011 දී අපේක්ෂා කළේ ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 10 ක් සංවර්ධනය කිරීමයි.

නමුත් පසුගිය වසරේදී ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 14 ක් සංවර්ධනය කළා. මේ වසරේදී අපි ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25 ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා යැයි ද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. අද සමහර මාධ්‍යවේදින් රජයට විරුද්ධව පිකට් කරන්නේ මාධ්‍ය නිදහස මෙරට තිබෙන නිසා බව ද පැවසු ඇමැතිවරයා කවදත් මේ රටේ සංවර්ධනයට අකුල් හෙළූ ද්‍රෝහියෝ මෙරට සිටි බව ද පෙන්වා දුන්නේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල පළ කළ වාර්තාවක් අනුව ලොව බොහෝ දියුණු රටවල් හා දියුණු වන රටවල් ලබන වසරේ තම වර්ධන වේගය අඩුකර තිබෙනවා. නමුත් අපේ කලාපයේ අපේ රට විතරක් ආර්ථික වර්ධන වේගය වැඩි කරලා තිබෙනවා. චීනයත් ආර්ථික වේගය වැඩි කරල තිබෙනවා. ඉන්දියාව ජර්මනිය වගේ රටවල තම වර්ධන වේගය අඩු කරලා තිබෙනවා යැයි ද බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

එමෙන්ම පසුගිය වසර 2 - 3 ඇතුළත අපේ දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙලා. ඒක පුද්ගල ආදායම් වැඩි වෙලා. උද්ධමනය අඩු වෙලා. විරැකියාව අඩු වෙලා තිබෙනවා. මේ හැම එකක්ම බැලුවොත් අපේ ජීවන තත්ත්වය වැඩි වෙලා ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 2000 වසරේදී පුද්ගලයන් 2779 සිටියේ එක දොස්තරවරයයි. 2011 වන විට 1443 කට එක දොස්තරවරයෙක් ඉන්නවා යැයි ද ඒ මහතා පැවැසීය.

දිවි නැඟුම, ගම නැඟුම, පුර නැඟුම වැනි වැඩ සටහන් ඔස්සේ පවුල කේන්ද්‍රිය කරගත් ආර්ථික ප්‍රවර්ධන ක්‍රමයක් අනුව ගම, අන්තර් නගර හා ප්‍රධාන නගර සංවර්ධනයට පියවර රැසක් ගත් බවත් ඉදිරියේදී තවත් පියවර රැසක් ගන්නා බවත් ඇමැතිවරයා කීය.


http://www.silumina.lk/2012/01/29/_art.asp?fn=aa1201291

No comments:

Post a Comment