Friday, January 27, 2012

තේ මණ්ඩලයෙන් නිතර පරීක්‍ෂා කෙරෙන ගබඩාවක කසළ තේ අපනයන ජාවාරමක්

විජයානි එදිරිසිංහ

මසකට දස වතාවකට වඩා තේ මණ්ඩලයේ පරීක්‍ෂාවට ලක්කෙරෙන මහා පරිමාණ තේ ගබඩාවක පවත්වාගෙන ගිය කසළ තේ අපනයනය කිරීමේ ජාවාරමක් සොයාගත් පොලිසිය එහි තිබී අපිරිසුදු කසළ තේ කිලෝ ලක්‍ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී එම ජාවාරම සොයා ගැනිණි. ඒ ගබඩාවට සීල් තබා තිබේ. විශේෂ කාර්ය බළකායට ලැබුණු ඔත්තුවක් මත ඔවුන් රහස් පොලිසිය සමඟ එක්ව එම වැටලීම සිදුකර තිබුණි.

කසළ තේ ගොඩගැසූ ගබඩා තුනක් සහ හොඳ තේ ගබඩාවක් මෙහි වෙයි.

හොඳ තේ ඇති ගබඩාව තේ මණ්ඩලයේ ලියාපදිංචි කර තිබේ.

සෙසු ගබඩා තුන ලියාපදිංචි කර නැත.

තේ ජාවාරම කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් කරගෙන ගොස් තිබේ.

මෙහි තේ මසකට දොළොස් වතාවක් අපනයනය කෙරෙයි. එසේ අපනයනය කරන සෑම අවස්ථාවකම එම තේ සාම්පල් තේ මණ්ඩලයේ නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්කෙරෙන්නේ එම ගබඩාවේදීමය.

ඊට අමතරව ගබඩා ලියාපදිංචිය වසරකට වරක් අලුත් කළ යුතුයි. එම ලියාපදිංචිය දීමට පෙර තේ මණ්ඩලයේ නිලධාරීන් ගබඩාව පරීක්‍ෂා කළ යුතුය.

අක්කර භාගයක පමණ විශාල ගබඩා භූමියේ හොඳ තේ ගබඩාව සහ කසළ තේ ගබඩා තුන එකිනෙකට යාව පිහිටා තිබේ.

වසර හයකට වැඩි කාලයක් එම ගබඩාව පවත්වාගෙන ගියත්, ඒ කිසිම අවස්ථාවක ගෝනි දහස් ගණනක් ඇති කසළ තේ ගබඩා තුන තේ මණ්ඩලයේ නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්වී නැත. තේ ජාවාරම්කරුවන්ගේ තේ ජාවාරම් ගැන සෙවීමට තේ මණ්ඩලය යටතේ බුද්ධි අංශයක් ද වෙයි.

මෙම ගබඩාව එම නිලධාරීන්ගේ වැටලීම්වලට ද හසුවී නැත.

කොළඹ තේ වෙන්දේසියේදී හොඳ තේ ලබාගන්නා ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ගම්පොළින් මිලදී ගන්නා කසළ තේවලට ඒවා මිශ්‍ර කර අපනයනය කර තිබේ. කසළ තේ කිලෝවක මිල රුපියල් 10 කි. එම තේ තොග අපිරිසුදු ගබඩා භූමියේ බිම ගොඩගසා තිබේ. අපනයනික හොඳ තේ කිලෝවක් රුපියල් 600 කි. එහි සේවකයෝ තිහක් පමණ සේවය කරති. බිම ගොඩගැසූ තේ වලට වැලි හා වෙනත් අපිරිසුදු ද්‍රව්‍ය එකතු වී තිබේ. සේවකයෝ ඒවා පාගමින් ගෝනිවලට දමති.

මෙවැනි විශාල ගබඩාවක මහා පරිමාණ කසළ තේ ජාවාරම සිදුවන බව එම ස්ථානයට නිතර පැමිණෙන තේ මණ්ඩලයේ පරීක්‍ෂක නිලධාරීන්ගේ අවධානයට යොමුවූයේ නැතිදැයි එහි සිටි තේ මණ්ඩල නිලධාරීන්ගෙන් “දිනමිණ” විමසීමක් කළේය.

ඔවුන් දුන් පිළිතුර වූයේ දිවයිනේ සෑම ප්‍රදේශයකම තේ ගබඩා පරීක්‍ෂා කිරීමට සිටින්නේ පරීක්‍ෂක නිලධාරීන් 48 කි. කොළඹ ප්‍රදේශයට නිලධාරීන් 9 ක් බවයි.

එමනිසා මෙම ගබඩාවේ සිදුවූ ජාවාරම පිළිබඳ අවධානය යොමු කිරීමට වේලාවක් නොලැබුණු බවයි.

http://www.dinamina.lk/2012/01/27/_art.asp?fn=u1201276

No comments:

Post a Comment