Monday, January 30, 2012

කොටහේනේ අනවසර සත්ත්ව ඝාතකාගාරයක්

විජයානි එදිරිසිංහ, චන්ද්‍රිකා පෙරේරා සහ රක්ෂණ ශ්‍රියන්ත

කොළඹ නගර සභාවේ නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ එළු හා ගව ඝාතකාගාරයක් කොළඹ කොටුව පොලිසිය සොයාගෙන තිබේ.

ඊයේ (29) අලුයම කොටහේන පොලිස් වසමේ පැපොල්වත්ත (කොළඹ 13) ප්‍රදේශයේදී කළ වැටලීමකදී එම ගව ඝාතකාගාරයේ මරා දමන ලද එළුවන් 16ක්, මැරීමට සූදානම් කර තිබූ එළුවන් 59ක්, බැටළුවන් 05 ක් හා ගවයකු ද ඇතුළු සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඡායාරූපය රුක්මාල් ගමගේ

තවත් එළු මස් කිලෝ ග්‍රෑම් 243 ක් ද එහි තිබූ බව කොළඹ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා “දිනමිණ”ට කීය. අවුරුදු ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ මේ ගව ඝාතකාගාරයේ ඝාතනය කරන ලද සතුන්ගේ මස් කොළඹ හා ඒ අවට සියලුම මස් වෙළෙඳසල්වලට බෙදා හැර තිබේ.

ගව ඝාතකාගාරය සඳහා රජයේ බලපත්‍රය සමඟ සතුන් ඝාතනය කිරීමට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පශු වෛද්‍ය හා ග්‍රාමසේවක නිලධාරීන්ගේද අවසරය ලැබිය යුතුය.

එහෙත් වසර ගණනාවක් මේ ගව ඝාතකාගාරයට කොළඹ නගර සභාවේ කිසිම නිලධාරියෙක් පැමිණ නැත. එය යම්කිසි බලවතකුගේ අනුදැනුම ඇතිව ඉහත කී නිලධාරීන්ට ද යම් යම් වරප්‍රසාද ලබා දී කරගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වසර ගණනාවක්ම කොළඹ නගර සභාව පාලනය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ බලය යටතේය. ඒ යටතේ සිටි නගරාධිපතිවරුන්ට මේ මහා පරිමාණ ගව ඝාතකාගාරය පිළිබඳ තොරතුරු නොලැබීම පුදුමයට කරුණක් බව පැවසෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව කොළඹ නගර සභාවේ ඉහත කී නිලධාරීන්ගෙන් කට උත්තර ලබාගැනීමට ද පොලිසිය බලාපොරොත්තු වේ.

කොළඹ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමිල රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිස්දෙනෙක් පමණ වැටලීමට සහභාගි වූහ.


http://www.dinamina.lk/2012/01/30/_art.asp?fn=u1201307

No comments:

Post a Comment