Sunday, January 29, 2012

පාසිකුඩාවේ පරිසර හිතකාමී සංචාරක පුරයක්...

සාගරිකා දිසානායක

සාමය උදාවීමෙන් පසුව උතුරු - නැඟෙනහිර පළාත්වල ඇතිවී තිබෙන සංචාරක ප්‍රබෝධය හේතුවෙන් ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.

නැඟෙනහිර පළාතේ සුන්දර වෙරළ තීරය ආශි‍්‍රතව ඉදිකැරෙන පාසිකුඩා සංචාරක කලාපය සඳහා රජය මඟින් අක්කර 150 ක් ආයෝජකයන් වෙත ලබා දී තිබේ. මේ වන විට පාසිකුඩා සංචාරක කලාපයේ නව හෝටල් 14 ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කැරෙමින් පවතී.

කාමර 930 කින් සමන්විත මෙම හෝටල් ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 6530 ක මුදලක් ආයෝජනය කර තිබේ. ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සංගමයේ සහාය ඇතිව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉදි කැරෙන මේ හෝටල සියල්ල මේ වසරේ අග භාගය වන විට නිම කිරීමට නියමිතය.

පාසිකුඩා සංචාරක කලාපයේ දැනටමත් කාමර සියයකින් යුතු තරු පන්තියේ හෝටලයක් පවත්වාගෙන යන අතර තවත් හෝටල දෙකක් පෙබරවාරි මාසයේ අග සහ මාර්තු මස මුලදී විවෘත කිරීමට නියමිතය.

දැනට හෝටල් ඉදිකිරීම සඳහා රජය සමඟ ගිවිසුම්වලට එළැඹ ඇති, එහෙත් එතරම් ප්‍රගතියක් නොදක්වන හෝටල් ව්‍යාපෘති ඉදිරි මාස තුන ඇතුළත ප්‍රමාණාත්මක ප්‍රගතියක් නොදැක්වුවහොත් ඒවා රජයට පවරාගෙන වෙනත් ආයෝජකයන්ට ලබා දීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.


http://www.silumina.lk/2012/01/29/_art.asp?fn=aa12012910

No comments:

Post a Comment