Friday, January 27, 2012

මිනිස් ජීවිත දෙකක් බේරාගත් පුංචි වීරවරියට පාපැදියක් ප්‍රදානය කරයි

මීගොඩ සමුහ - ඩබ්ලිව්. ඩී. ජයතිස්ස

වල් අලියකුගෙන් යතුරුපැදිකරුගේ ජීවිතය බේරා දුන් එප්පාවල කරගහවැව විදුහලේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කෞශල්‍යාට, මීගොඩ දාම්පේ පන්සල පාරේ සෙනෙවිරත්න ආරච්චිගේ ලක්ෂ්මන් මහතා පාපැදියක් ප්‍රදානය කළේය.

එප්පාවල කරගහවැව ප්‍රදේශයේ බොහෝ අවස්ථාවලදී අලි ඇතුන් ගැවසෙන ගම්මානයකි. නමුත් ප්‍රදේශවාසීන්ට මෙය ඉතා හොඳට හුරුපුරුදුය. වල් අලින්ගෙන් ජීවිත රැක ගැනීමට ඔවුහු විවිධ ක්‍රම භාවිතා කරති.

පසුගිය වසරේ ලෝක ළමා දිනය සිදුවන ඔක්තෝබර් පළමුවන දිනට, පෙර දිනය වන සැප්තැම්බර් 30 වනදා, සුපුරුදු පරිදි කෞශල්‍යා නිවෙසේ සිට කිලෝ මීටර් දෙකක් දුර පිහිටි කරගහවැව විදුහලට පා පැදියකින් ගමන් කළාය. ටික දුරක් යන විට උදෑසන ම මිනීමරු වල් අලියා අලි වංගුවේ ප්‍රධාන පාර මැද බලා සිටියි. කෞශල්‍යා පා පැදියෙන් බැස වල් අලියා කැලයට යනතුරු බලා හිඳියි.

ටික වේලාවකින් යතුරු පැදියකින් යුවළක් කෞශල්‍යා ඉදිරියට පැමිණෙයි. වංගුව නිසා ළඟට එනතුරු ඔවුන් අලියාව දුටුවේ නැත. යතුරු පැදිය නතර කරගත් ඔවුන්, ආපසු හැරී යෑමට උත්සාහ ගත්තත්, කලබලය නිසා යතුරු පැදිය සමඟ දෙදෙනාම ඇද වැටුණි. වහා නැගිට ගත් කාන්තාව ආපසු නොබලාම දුවන්නට වුවාය. යතුරු පැදිකරු යතුරු පැදියට යටවී, නැගිටීමට උත්සාහ දැරුවත්, ඊට අවස්ථාවක් ඔහුට නැති විය. වල් අලියා හොඬය කරකවමින්, යතුරු පැදිකරු වෙත ඇදී යන්නේ පාගා මරන්නට බව පුංචි කෞශල්‍යාට හැඟේ. ක්‍ෂණයකින් කෞශල්‍යාගේ යටිගිරියෙන් කෑගැසීම නිසා, යතුරු පැදිකරු පාගා දැමීමට අලියා එසවූ පාදය, වෙනතක තබා වේගයෙන් කැලයට ඇදුණි. මෙය හාස්කමකි.

මේ පුංචි වීරවරිය පාපැදියට නැගී යතුරු පැදිකරු ළඟට ගොස්, ඔහුට නැගී සිටීමට උදව් කළාය. යතුරු පැදිකරු ද තම ජීවිතය බේරා දුන්, කෞශල්‍යාට ස්තුතිය පුද කළේය. කෞශල්‍යා කරගහවැව විදුහලට පිය මැනිණි. ඇයට මහත් සතුටක් දැනෙන්නේ, තමන් කළ වීර ක්‍රියාව නිසා, ජීවිතයක් බේරා දීමට පුංචි තමාට හැකිවීමයි. ඇය මේ පුවත පන්ති භාර ගුරුතුමියට පැවසුවාය. ගුරුතුමිය ඉතාමත් සතුටට පත්ව, මේ සිද්ධිය විදුහල්පති කේ. ආර්. ජයවර්ධන මහතාට පැවසුවාය. පසුදාට එළඹෙන ලෝක ළමා දිනයට මෙම සිද්ධිය උපහාරයක් ලෙස කෞශල්‍යා ඇගැයීමට ලක් කළේය. මේ සිද්ධිය ආරංචි වුණු මීගොඩ, දාම්පේ, පන්සල පාරේ සමාජ සේවක සෙනෙවිරත්න ආරච්චිගේ ලක්ෂ්මන් මහතා, මෙම දැරියගේ වීර ක්‍රියාව අගයමින් කරගහවැව විදුහලට ගොස්, විදුහල්පති හමුවී කෞශල්‍යාට පාපැදියක් තෑගි කළේය.


http://www.dinamina.lk/2012/01/27/_art.asp?fn=r1201276

No comments:

Post a Comment