Monday, January 30, 2012

මාරාන්තික ආසනික්‌ රේගුවෙන් නිදහස්‌

සමන් ගමගේ සහ තිස්‌ස ගුණතිලක

බහු ජාතික කෘෂි රසායන අලෙවි සමාගම් කිහිපයක්‌ මගින් මෙරටට ආනයනය කර මාස ගණනාවක්‌ තිස්‌සේ රේගු අත්අඩංගුවේ තිබූ මාරාන්තික විෂ සහිත ආසනික්‌ අඩංගු කෘෂි රසායන බහාලුම් දහහතර පලිබෝධ නාශක රෙජිස්‌ටාර් ජෙනරාල් අනුර විඡේසේකර මහතාගේ නිර්දේශ මත මුදා හැරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම බහාලුම් පිළිබඳ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඒවායෙහි ආසනික්‌ සහ රසදිය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කළ අතර අදාළ සමාගම් වෙතින් රුපියල් පනස්‌ ලක්‍ෂයක පමණ දඩ මුදලක්‌ අයකර ගනිමින් මෙසේ මුදා හැරිය බව රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කෘෂි රසායනවල ආසනික්‌ සහ රසදිය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට නිර්දේශ කළද පලිබෝධ නාශක රෙජිස්‌ටාර්වරයා සිය නිල බලය යොදා ගනිමින් මෙම බහාලුම් මුදාහැරීම හානිකර නොවන බවට දැනුම් දීම නිසා ප්‍රති නැව්ගත කිරීමකින් තොරව මෙසේ මුදා හැරීමට රේගුව පියවර ගෙන ඇත.

එසේ මුදා හරින ලද මාරාන්තික විෂ සහිත කෘෂි රසායන බහාලුම් තොගය මේ වන විට පලිබෝධ නාශක රෙජිස්‌ටාර්වරයාගේ භාරයේ තිබෙන බවද වාර්තා වේ.

එහෙත් මෙම බහාලුම් තොගය විනාශ කෙරෙන්නේද නැතහොත් ඒවායෙහි අඩංගු ආසනික්‌ සහිත කෘෂි රසායන වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා අදාළ සමාගම් වෙත භාර දෙන්නේද යන්න පිළිබඳ මෙතෙක්‌ අනාවරණය වී නැත.

අදාළ බහාලුම්වල අඩංගු වූ වර්ගයේ කෘෂි රසායන අලෙවි කිරීම මෙම කන්ටේනර් තොගය රේගු අත්අඩංගුවට ගැනීමත් සමග තහනම් කෙරුණද එකී තහනම ඉවත් කරමින් ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා අවසර දෙන ලෙසට පලිබෝධ නාශ රෙජිස්‌ටාර්වරයා විසින් පසුගිය කාලයේ කාෂිකර්ම අධ්‍යක්‍ෂවරුන් වෙතද දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් පලිබෝධනාශක රෙජිස්‌ටාර් ජෙනරාල් අනුර විඡේසේකර මහතාගෙන් අප කළ විමසීමකදී රේගුවේ පරීක්‍ෂණ පිළිබඳ හා අදාළ බහාලුම් මුදා හැරීම පිළිබඳ කිසිවක්‌ තමන් නොදන්නා බවට හෙතෙම ප්‍රථමයෙන්ම සඳහන් කළේය.

එහෙත් අදාළ බහාලුම් මුදා හැරීම හානිකර නොවන බවට රේගු දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ නොකළේදැයි අප පලිබෝධනාශක රෙජිටාර්වරයාගෙන් නැවත විමසීමේදී රේගුව එසේ පවසන්නේ නම් එය සත්‍යයක්‌ විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

එසේම එකී කෘෂි රසායන බහාලුම් මේ වන විට තමන් භාරයේ නොවන බවද අනුර විඡේසේකර මහතා අවධාරණය කළේය. ආසනික්‌ අඩංගු කෘෂි රසායන හේතුවෙන් මරාන්තික රෝග රැසක්‌ මිනිසුන්ට වැළඳෙන බවට කලකට ඉහත ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.

වර්තමානයේ රජරට ප්‍රදේශයේ සීඝ්‍ර ලෙස පැතිර යන වකුගඩු රෝගයටද මෙම ආසනික්‌ අඩංගු කෘෂි රසායන භාවිතය හේතු වූ බවට පසුගිය කාලයේ කතාබහට ලක්‌විනි.


http://www.divaina.com/2012/01/30/news11.html

No comments:

Post a Comment