Monday, January 30, 2012

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වගා කළ බඩඉරිඟු අස්වනු නෙළීම අරඹයි

රක්ෂණ ශි‍්‍රයන්ත සහ දිගාමඩුල්ල සමූහ චන්දන ලියනාරච්චි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සතු ගොවිපොළවල බඩඉරිඟු අස්වැන්න නෙළීම ආරම්භ කරයි. මේ වන විට අම්පාර බෝගමුයාය හා මඩකළපු දිස්ත්‍රික්කයේ මංගලගම යන ගොවිපොළවල අස්වැන්න නෙළීම අරඹා ඇත. අපේක්‍ෂිත අස්වැන්න බඩඉරිඟු කිලෝ ලක්‍ෂ අටක් පමණ වේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් ඵලදායි ලෙස රටේ සංවර්ධනයට යෙදවීමේ එක් ඵලදායි පියවරක් ගෙස මෙය පෙන්වා දෙන බව මෙම ගොවිපොළවල අස්වැන්න නෙළීමේ උත්සවයට පසුගියදා (27) සහභාගි වූ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා “දිනමිණ” ට පැවසීය.

බෝගමුවයාය ගොවිපොළේ අක්කර දෙසීයක් ද, මංගලගම ගොවිපොළේ අක්කර දෙසිය හතළිහක් ද බඩඉරිඟු වගාකර ඇත. මීට අමතරව මේ ගොවිපොළවල වී සහ කෙසෙල් වගා ද සිදුකර ඇත. ගියවර මෙම ගොවිපොළ දෙකෙන් රුපියල් මිලියන හැත්තෑ පහක පමණ ආදායමක් ලබා ඇත. වර්ෂාව වැඩිවීම නිසා අස්වැන්න ගියවර අඩු වී ඇත.

මෙවර හොඳ අස්වැන්නක් නෙළාගත හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ. ගියවර ලැබූ ආදායමෙන් අවශ්‍ය උපකරණ හා ට්‍රැක්ටර් දෙකක් ද, බීජ හා පොහොර ද මිලදී ගෙන ඇත.

අස්වැන්න විකුණා ලැබෙන සමස්ත ආදායමෙන් සියයට විස්සක පමණ කොටසක් ඒ සඳහා දායක වන සිවිල් ආරක්‍ෂක සේවා සෙබළුන්ට බෙදාදීම සිදු කෙරේ. මෙම පළමු අස්වැන්න නෙළීමේ අවස්ථාව සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියාර් අද්මිරාල් ආනන්ද පීරිස්, සේවා වනිතා දෙපාර්තමේන්තුවේ සභාපතිනි කුමුදුනී පීරිස්, මේජර් ප්‍රජාත් විජේසිංහ, මහඔය පළාත් භාර නිලධාරි මේජර් කමල් ජයවීර, බක්කිඇල්ල දිස්ත්‍රික් අණ භාර නිලධාරි ජී. මුණසිංහ, මහඔය දිස්ත්‍රික් අණ භාර නිලධාරී ඩබ්ලිව්. ජී. සිරිවර්ධන මහත්වරු ඇතුළු උසස් නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ
.

http://www.dinamina.lk/2012/01/30/_art.asp?fn=n12013011

No comments:

Post a Comment