Monday, August 15, 2011

රබර් වගාව අම්පාරටත්

ගොවීන්ගේ උනන්දුව ඉහළයි
දශක ගණනාවක් තිස්සේ අපනයන බෝගයක් ලෙස මෙරට ආර්ථිකයට ශක්තියක් වූ රබර් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමෙන් තව තවත් අපනයන ආදායම ඉහළ නංවාලීමට හැකියාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විමල් ජයවර්ධන මහතා පැවැසීය.

මේ අනුව මේ වසර අවසන් වීමට ප්‍රථමයෙන් මෙතෙක් රබර් වගා කර ඇති පළාත්වලට අමතරව නව රබර් වගා ඇති කිරීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවත්, රබර් පර්යේෂණ ආයතනයත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් ඒකාබද්ධව කටයුතු යොදා ඇත.

මෙතෙක් කලක් මෙරට ප්‍රධාන කෘෂි බෝගයක් වන වී වගාවට පමණක් සීමා වූ අම්පාර දිස්ත්‍රික්කයේ මේ වසරේ දී හෙක්ටයාර් 900ක රබර් සිටුවීමට කටයුතු සූදානම් කර ඇත. මෙහි ප්‍රථම අදියර ලෙස මහඔය පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ඇරැඹේ. ඒ සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වගාකිරීමට සුදුසු ඉඩම් හඳුනා ගැනීමත් මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට ආගන්තුක රබර් වගාව පිළිබඳව දැනුවත් කිරීම උදෙසා වැඩසටහන් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විමල් ජයවර්ධන මහතා
මේ ප්‍රදේශය රබර් වගාවට සුදුසු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවත්, රබර් පර්යේෂණ ආයතනයත් මීට වසර හයකට පමණ පෙර මේ ප්‍රදේශයේ ගොවීන් පිරිසක් තෝරා ගෙන රබර් වගාව ආරම්භ කළා.
අද වන විට එහි ප්‍රතිපල අපට දකින්න පුළුවන්. එම ගොවීන් දැන් රබර් කිරි ලබාගනිමින් රබර් නිෂ්පාදනය කරනවා. ඒ අනුව නව ආර්ථිකයක් මෙම ප්‍රදේශයේ ගොඩ නැගෙමින් තිබෙනවා. ගොවීන්ට දැන් මේ වගාව පිළිබඳව දැනුම අවශ්‍යව තිබෙනවා. ඒ සඳහා නියලෙන ආකාරය මෙම වගාවේ ඇති වානිජ්‍යමය වටිනාකම නව රැකියා අවස්ථාවන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කරලා මේ ප්‍රදේශයේ ගොවීන්ගේ ආර්ථිකමය සංවර්ධනයක් ඇති කරන්න උවමනා පරිසරය දැන් සකස් කොට තිබෙනවා.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.බී. ප්‍රේමදාස මහතා
ම්පාර දිස්ත්‍රික්කයේ රබර් වගා කළ ගොවීන් මේ වන විට ආදායම් ලබන පිරිසක් බවට පත්ව සිටිනවා. රබර් නිෂ්පාදනය මගින් මේ පළාතේ ගොවීන්ට දෛනිකව ආදායම් ලැබෙන ආර්ථිකයක ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවෙනවා.
මෙතෙක් කාලයක් මෙවැනි බෝගයක් මේ ගොවීන් වගා කරලා නෑ. රබර් වගාව සමග මේ පළාතේ සුපුරුදු අතුරු බෝග වගාවන් වන මුං, කව්පි, ඉඩඉරිගු වැනි බෝග රබර් වගාවට අමතරව එම භූමියේ වගා කරන්න පුළුවන්.

අම්පාර දිසා ලේකම් සුනිල් කන්නන්ගර මහතා
2016 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 10000ක රබර් වගා කිරීමට ඉලක්ක කොට තිබෙනවා.
දැනට වගා කිරීමට ඇති ඉඩම් මෙන්ම නව ඉඩම් පිළිබඳවත් සොයා බැලීම් සිදු කරමින් සිටිනවා.
ඒ අනුව ලබන වර්ෂය වන විට පරිසර හිතකාමී වගාවක් ලෙසත් ආර්ථික වශයෙන් වැදගත් වගාවක් ලෙසත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා.

පදියතලාව මාරාව ගම්මානයේ ටී.බී. අත්තනායක ගොවි මහතා
වෙනදා අපි සමාන්‍ය බෝග වගරලා කීයක් හරි හම්බකර ගත්තා. අද එහෙම නෑ. රබර් වගා කරපු අයගේ ආර්ථිකය අද හොදයි. තව අවුරුද්දකින් විතර මේ වගාවේ තවත් කොටසක රබර් කිරි කපන්න පුළුවන්. තව කීපදෙනෙකුට රැකියා අවස්ථා උදාකර දෙන්නත් පුළුවන්. මේ වෙන විට තවත් මම වගේම මේ පළාතේ රබර් ආදායම් ලබන පිරිසක් බිහිවෙමින් සිටිනවා.

මහඔය හරස්ගල එච්.එම්. විමලසේන
මම රබර් වගා කළේ 2010 වසරේ දැනට අපේ රබර් වගා කරුවන්ගේ කණ්ඩායමේ ඉඩම් විස්සක් විතර වගා කරලා තිබෙනවා . 2008 වසරේ වගා කළ අයත් සිටිනවා. මම අක්කර දෙකක් විතර වගා කරලා තිබෙනවා. අක්කර විස්සක් විතර ඉඩම් ප්‍රමාණයක් දැනට අපේ ප්‍රදේශයේ වගා කර තිබෙනවා. දැන් සෑහෙන්න පිරිසක් මේ වගාව සඳහා උනන්දුයි.

http://www.dinamina.lk/2011/08/15/_art.asp?fn=r1108151

No comments:

Post a Comment