Sunday, August 7, 2011

නියඟයත් සමග බදුල්ලේ රක්‍ෂිත ගිනි තැබීම් සිදු වෙයි

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මේ දිනවල පවතින දැඩි නියං කාලගුණයත් සමග ප්‍රදේශයේ රක්‌ෂිත වනාන්තර සහ පතන් බිම් විශාල ලෙස ගිනි තැබීම් මේ දිනවලදී සිදු වේ. 

මෙසේ ගිනි තැබීම නිසා මේ වන විට බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ කැලෑ අක්‌කර දහසකට වැඩි ප්‍රමාණයක්‌ ගින්නෙන් විනාශ වී ඇතැයි බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පරිසරවේදීහු කියති.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් ඇල්ල රාවණාඇල්ල රක්‌ෂිතය, මකුල්ඇල්ල රක්‌ෂිතය, නමුණුකුල රක්‌ෂිතය, බල්ලකෙටුව, උස්‌පොතකන්ද රක්‌ෂිතය, දොඩම්ගොල්ල පතන් බිම, හල්දුම්මුල්ල වෑඑළිය රක්‍ෂිතය, අලුත්වෙල රක්‍ෂිතය, කොලොන්ගස්‌තැන්න රක්‍ෂිතය, උඩවේරිය ඔහිය රක්‍ෂිතය, හපුතලේ වයි හන්දිය රක්‍ෂිතය, මීගහකිවුල සහ කන්දකැටිය ප්‍රදේශයේ පතන් බිම් බොහොමයක්‌ද මේ වන විට ගිනි තබා විනාශ කර ඇත. 

ප්‍රදේශවාසී පිරිස්‌ සතුන් දඩයම් කිරීමටත්, විනෝදය පිණිසත් මෙම ගිනි තැබීම් සිදු කරන අතර වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන දේශීය සංචාරකයන් මෙම රක්‌ෂිත ආසන්නයේ මහාමාර්ග අසල ආහාර පිසීම පිණිස ගිනි දැල්වීම මගින්ද මෙම රක්‌ෂිත ගිනි ගැනීම සිදුවෙතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙසේ මෙම රක්‌ෂිත සහ පතන් බිම් ගිනිගෙන විනාශ වීම නිසා මේ වන විට මෙම ප්‍රදේශයට ආවේනික දේශීය ශාක වර්ග, සත්ව වර්ග මෙන්ම වටිනා ඖෂධ පැළෑටිද විශාල වශයෙන් වඳවීමේ ප්‍රවණතාවකට ලක්‌ව ඇතැයි පරිසරවේදීහු මෙන්ම ප්‍රදේශවාසීහු කියති.

http://www.divaina.com/2011/08/05/provin03.html

No comments:

Post a Comment