Friday, November 25, 2011

ජනතාවට කිසිදු හිරිහැරයක් ඇති නොවන අයුරින් පරිසර සංරක්ෂණ නීති රීති ක්‍රියාත්මක කරනවා

- ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

දැයට සෙවණ රුක් රෝපණ වැඩසටහන


ශීලා උඩුවර

පරිසරය සංරක්ෂණය සඳහා වන නීති රීති ක්‍රියාත්මක කළ යුත්තේ මහජනතාවට හිරිහැරයක් සිදු නොවන ආකාරයට බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

වන වගා රහිත සියලුම පහත්බිම් කැලෑ භූමි බවට පත් කළ යුතු බවද ඇමැතිවරයා කීය.

(දැයට සෙවණ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව සිදු කළ කදු මුදුන් වල වනවගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ හුන්නස්ගිරිය කහටගොල්ල කඳු මුදුනේදී පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අයුරු. මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාද මෙහි සිටී.)


මේ ව්‍යාපෘතිය ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ඇති බවත් තවත් ආධාර විවිධ අංශවලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ දැයට සෙවණ වැඩසටහනට සමගාමීව මධ්‍යම කඳුකරයේ කඳු මුදුන් වල දේශීය වන වගාව ආරම්භ කරමින් හුන්නස්ගිරිය කහටගොල්ල පතන භූමියේ පැවති උත්සවයකදීය.

මධ්‍යම කඳුකරයේ කඳු මුදුන්වල වන වගා කිරීමේ ව්‍යාපෘතිය පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ඇතුළු විවිධ ආයතනවල සංවිධානත්වයෙන් සිදු කෙරිණි.

වන ගහනය හා පරිසරය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා මහජනතාවගේ ද සහාය ද ඉතා අවශ්‍ය බව සඳහන් කළ ඇමැතිවරයා මහජනතාවගේ පහසුව සඳහා ඇතැම් පරිසර නීති රීති ලිහිල් කර ඇති බවද සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

වන වගා රහිත පහත් භූමිවල කැලෑ ඇති කිරීමට අදහස් කළේ පරිසර ඇමැතිධුරයට පත්වූ අවස්ථාවේ සිටයි. මධ්‍යම කඳුකරය අපේ රටේ හදවත. එහි කඳු මුදුන් විනාශ වීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මුළු රටටම බලපාන කරුණක්.

ෆයිනස් වගාව පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම පරීක්ෂණ වලින් පසුව අවශ්‍ය පියවර ගැනීම අමාත්‍යාංශයේ වගකීමයි. මධ්‍යම කඳුකරය මුළුමනින්ම කැලෑවෙන් යට කල යුතුයි.

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා

හින්ද චින්තනයේ සඳහන් නිල්ල පිරුණු රටක් ඇති කිරීමේ භාරදූර කාර්යය සඳහා මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මීට වසර 10 කට පෙර තිබූ වනය අද නැහැ. තවදුරටත් මෙම වන විනාශයට ඉඩ දිය නොහැකියි.

ත්‍රස්තවාදීන් විශාල ලෙස වන සම්පත විනාශ කළා. මහවැලි ව්‍යාපාරය හා රටේ සංවර්ධන කටයුතු වලදීත් වන සම්පත විනාශ වුණා. ඒ විනාශ වූ වන සම්පතට අප නැවත පණ දිය යුතුයි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා

ලංකාවේ මීට වසර 200 කට පමණ පෙර සැලකිය යුතු කැලෑ ප්‍රමාණයක් තිබුණා. නමුත් ජනාවාස ආදිය ඉදිවීමේ හේතූන් මත ඒවා ක්‍රමයෙන් අඩු වුණා. ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ලම පාහේ ඇරඹෙන්නේ මධ්‍යම කඳුකරයෙන්. මධ්‍යම කඳුකරය අනිවාර්යයෙන්ම රැකගත යුතුයි.

මහනුවර දිසාවන නිලධාරිනි ලක්ෂ්මි වික්‍රමසිංහ මහත්මිය

මධ්‍යම කඳුකරයේ මෙවැනි ව්‍යාපෘතියක් ඇරඹීම ඉතාම කාලීන අවශ්‍යතාවක් බවත් ජල මූලාශ්‍ර කිහිපයක් මෙහි තිබෙනවා.

2007 වසරේ පමණ සිට මෙහි කැලෑව නිරන්තරයෙන් ගිනි තැබීමට ලක්වෙනවා. එය වැළැක්වීමට කටයුතු කළ යුතුයි.

උඩුදුම්බර ද්විතිය පාසලේ විදුහල්පති පිටවල සාරානන්ද, පූර්වාරාම විහාරාධිපති රඹුක්වැල්ලේ අමරපේලි, හිමිවරු මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති නිමල් පියතිස්ස මහතා ඇතුළු රජයේ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

http://www.dinamina.lk/2011/11/25/_art.asp?fn=p1111254

No comments:

Post a Comment