Sunday, November 27, 2011

උත්සව සමයට අවශ්‍ය තරම් සහල් තොග තිබෙනවා

සහල් හිඟයක් මවාපාන්න බැහැ - සහල් නිෂ්පාදකයෝ කියති
නිහාල් පී. අබේසිංහ / සුභද්‍රා දේශපි‍්‍රය

උත්සව සමයේදී හා ඉන් පසුවත් රජයේ පාලන මිලටම සහල් ලබා දිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය තරම් සහල් තොග පවතින බව රජයේ හා පෞද්ගලික අංශයේ සහල් ගබඩාකරුවෝ අවධාරණය කරති.

මේ අනුව ලබන කන්නයේ අස්වනු නෙළන තෙක් අඛණ්ඩව සහල් ඉල්ලුම සැපිරිය හැකි බවත් සහල් හිඟයකට කිසිදු ඉඩක් නැති බවත් පවතින මිලට දිගටම පාරිභෝගිකයන්ට සහල් ලබා දිය හැකි බවත් ඔවුහු අවධාරණය කරති.

උත්සව සමය දඩමීමා කැර ගෙන කෘත්‍රිම සහල් හිඟයක් මවා පෑමට හෝ එමඟින් සහල් මිල ඉහළ නැංවීමට හෝ කිසිදු ඉඩක් නැති බව සමස්ත ලංකා වී මෝල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති සහ අරලිය සහල් නිෂ්පාදන ආයතනයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මේ අතර රජයේ හා පෞද්ගලික වී ගබඩාවල මෙට්‍රික් ටොන් ලක්ෂ 11.5 ක වී තොග පවතින අතර පෞද්ගලික නිවාසවල හා වෙළෙඳසල්වල තවත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් පමණ පවතින බවත් ඒ අනුව උත්සව සමය හා ඊට පසුවත් මෙරට කිසිම සහල් හිඟයකට ඉඩක් නැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය, වී අලෙවි මණ්ඩලය හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

2010 - 2011 මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 18 ක වී අස්වැන්නක් ලැබුණු බව ද 2011 යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 19 ක අස්වැන්නක් පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාසවලදී ලැබුණු බවත් ඒ අනුව රට සතුව ඇති තරම් වී තොග ඇති බවත් සහල් හා වී රටින් ගෙන්වීමට කිසිම අවශ්‍යතාවක් නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඊ. කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන ලේකම්වරයා මෙවර 2011 යල කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 19 ක වාර්තාගත වී අස්වැන්නක් ලැබුණු බවත් ගංවතුර නිසා වී අස්වැන්න අඩු වූයේ 2010 - 2011 මහ කන්නයේදී පමණක් බවත් පෙන්වා දෙයි.

වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15 ක් ඇති බවත් පෞද්ගලික ගබඩා සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පමණ ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ. බී. ජයසිංහ මහතා පවසයි. 2011 - 12 මහ අස්වැන්න ජනවාරි අග හා පෙබරවාරි මුල සතියේ ලැබෙන බවත් ඒ වන තුරු ඇති තරම් වී තොග ඉහත වී ගබඩාවලත් නිවාසවලත් පෞද්ගලිකව වී අලෙවි හල්වලත් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා ද පවසන්නේ 2011 - 12 මහ කන්නයේ අස්වනු නෙළන තෙක් ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය වී තොග රට සතුව ඇති බවයි. 2011 - 2012 මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 29 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් ඔහු කීය.

පසුගිය 2010 - 11 මහ කන්නයේ ගංවතුර නිසා සමහර කුඹුරු විනාශ වුවත් සාමය උදාවීමෙන් උතුරු නැඟෙනහිර පුරන් කුඹුරු වැඩිපුර අස්වද්දා තිබු නිසා ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වූ බවත් ඇමැතිවරයා කීය. මේ අතර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) හා කෘෂි විද්‍යාඥ එල්. බී. රූපසේන මහතා ද පවසන්නේ අපේ රටේ දැනට තිබෙන වී තොග 2011 - 2012 මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ප්‍රමාණවත් බවයි. මෙරට එක් පුද්ගලයකුගේ සාමාන්‍ය වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ ග්රැම් 112 - 115 පමණ බව ද ඔහු කියයි.


http://www.silumina.lk/2011/11/27/_art.asp?fn=aa1111271

No comments:

Post a Comment