Wednesday, November 23, 2011

දරු ගැබටත් නව නීති

සන්ධ්‍යා කරුණාරත්න

ආබාධිත දරුවකු මවගේ කුස තුළ වැඩෙන බව දැනගතහොත් එම දරු ගැබ ඉවත්කිරීම සඳහා නව නීතිරීති ගෙන ඒමට රජය තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. මේ දරු ගැබ නිසා මවටත්, සමාජයටත් සිදු වන අයහපත් තත්ත්වය සලකා බලා මෙවැනි තීරණයක් ගත් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය පැවැසුවාය.

නව යෞවනයේ හා තාරුණ්‍යයේ අභියෝග ජය ගැනීමට “ජීවන නිපුණතා” මාතෘකාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් ඇය ඊයේ (22 දා) මේ බව ප්‍රකාශ කළාය. මේ නව නීතිරීති ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ සංස්කෘතික හා වෙනත් ගැටලුවලට මුහුණ දීමට ද සිදුවිය හැකි බව ඇය අවධාරණය කළාය. ආබාධිත දරු ගැබක් කුස තුළ දරා සිටීම මවටත්, දරුවාටත්, සමාජයටත් සිදුකරන අසාධාරණයක් බවත් මේ දරු ගැබ ඉවත් කිරීම ඔවුන්ට කරන යහපතක් බවත් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය පැවැසුවාය.

තම කුසෙහි වැඩෙන්නේ ආබාධිත දරුවකුගේ කළලයක් බව දැන දැනත් එය ඉවත් නොකිරීම නිසා දරුවා මෙලොවට බිහිකිරීමෙන් පසුව මේ සමාජය තුළ මවටත්, දරුවාටත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. එම දරුවා යොවුන් වියට එළැඹීමත් සමඟ සමාජය තුළ ජීවත් වීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතර එවැනි ගැටලුවලට මුහුණ දීමේ ශක්තිය නැති විට සියදිවි හානි කර ගැනීම්වලට පවා යොමුවීමේ ඉඩක් පවතියි. මේ හේතු සැලකිල්ලට ගැනීමෙන් සද්භාවයෙන් යුතුව මෙවැනි දරු ගැබ් ඉවත් කිරීමට නව නීතිරීති සම්පාදනය කිරීමට තීරණය කර තිබේ.


http://www.dinamina.lk/2011/11/23/_art.asp?fn=n1111239

No comments:

Post a Comment