Friday, November 25, 2011

අලි මිනිස්‌ ගැටුම වළක්‌වන්න ජීව තල්වැට

අමල් උඩවත්ත


අලි ගම් වැදීම නිසා සිදු වන අලි මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට විදුලි වැට වෙනුවට ජීව තල්වැට වඩාත් සුදුසු තාක්‌ෂණ ක්‍රමවේදයක්‌ යෑයි ප්‍රැක්‌ටිකල් ඇක්‌ෂන් ආයතනයේ පර්යේෂක රණසිංහ පෙරේරා මහතා පෙන්වා දෙයි. මේ වන විට මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ තෝරාගත් ප්‍රදේශ කීපයක ප්‍රජා සහභාගීත්වයෙන් ජීව තල් වැට ඉදි කිරීමට මොණරාගල දිස්‌ත්‍රික්‌ක ලේකම් යූ. කේ. එස්‌. මිහිදුකුලසූරිය මහතා කටයුතු කර ඇත.


පසුගිය දා මොණරාගල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක දී අදහස්‌ දැක්‌වූ රණසිංහ පෙරේරා මහතා, "දැනටමත් වල් අලි ගම් වදින ප්‍රදේශවල කිලෝ මීටර් 1400ක්‌ පමණ දුරට විදුලි වැට ඉදි කර තිබෙනවා. මේ සඳහා කිලෝ මීටර් 1කට රුපියල් ලක්‌ෂ 5ක්‌ බැගින් වැය වී තිබෙනවා. මේ විදුලි වැට නඩත්තු කිරීමට වාර්ෂිකව රුපියල් 25000ක පමණ මුදලක්‌ වැය වෙනවා. මෙහි උපරිම ඵලදායි කාල සීමාව අවුරුදු 5යි.


යෝජිත ජීව තල් වැට සඳහා පැළ සිටුවා අවසන් කිරීමට කිලෝ මීටරයකට වැය වන්නේ රුපියල් 72000ක්‌ වැනි මුදලක්‌. පළමු වසර තුනෙන් පසු තල් වැට සඳහා කිසිදු වියදමක්‌ අවශ්‍ය වන්නේ නෑ. තල් වැටේ ආයු කාලය අවුරුදු 100ක්‌ පමණ වෙනවා. ජීව තල් වැට ඉතා ආරක්‌ෂාකාරී වගේ ම සතුන්ටත් හිතකරයි. තල් ගෙඩි අලින් ගේ ප්‍රධාන ආහාරයක්‌. කිලෝ මීටර් එකක තල් වැටක්‌ සඳහා වන තල් ගස්‌වලින් ලැබෙන අස්‌වැන්න මෙටි්‍රක්‌ ටොන් 270ක්‌ පමණ වෙනවා. මේ අස්‌වැන්න අලින්ට ආහාර හිඟ කාලයක්‌ වන මැයි මස සිට ඔක්‌තෝබර් මස දක්‌වා කාල සීමාවේ දී ලැබීම සුවිශේෂී දෙයක්‌. මේ සඳහා විශේෂ ක්‍රමවේදයක්‌ භාවිත කළ යුතු වෙනවා. තල් පැළ අතර පරතරය අඩි 5ක්‌ විය යුතුයි. පේළි අතර පරතරය අඩි 8ක්‌ වන ආකාරයට පේළි 4ක්‌ සිග්සැක්‌ ක්‍රමයට සිටුවිය යුතුයි. තල් වැට හොඳින් වර්ධනය වීමට අවුරුදු 8ක්‌ පමණ ගත වෙනවා. ඒ නිසා දැනට, තිබෙන විදුලි වැට ඉවත් නො කර විදුලි වැට මායිමේ තල් පැළ සිටුවිය යුතු වෙනවා." යනුවෙන් පැවසී ය.


ජීව තල් වැට නියමු ව්‍යාපෘති තුනක්‌ යටතේ මොණරාගල, අම්පාර, මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවල ආරම්භ කිරීමට නියමිත ය. මේ අනුව මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ උඩවලව ජාතික උද්‍යානයේ විදුලි වැටට සමාන්තරව කිලෝ මීටර් 3ක්‌ දුරට ද, මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ වෙරුගල් ප්‍රදේශයේ කිලෝමීටර් 9ක්‌ දුරට ද, අම්පාර දිස්‌ත්‍රික්‌කයේ හිඟුරාන සීනි කම්හල ආශ්‍රිතව ද මේ ජීව තල් වැට ඉදි කිරීමට නියමිත ය

http://www.vidusara.com/2011/11/23/news1.html

No comments:

Post a Comment