Wednesday, November 30, 2011

ජලාශ 23ක් වාන් දමයි

නුවන් කොඩිකාර

මේ වන විට දිස්ත්‍රික්ක අටකට අයත් වැව් හා ජලාශ 23 ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පැවැසීය. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ රොට්ටේ වැව, ටැම්පිටිය, අලහේන ජලාශ වාන් දමන අතර සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 565000 දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදුව ජලාශයේ වාන් දොරටු හයම මේ වන විට විවෘත කර ඇති බවත්, මාන්තට්ටය, මහකනදරාව ජලාශද වාන් දමමින් තිබෙන බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ අබේවල, සොරබොර, මඩකළපුව දිස්ත්‍රික්කයේ රූගම්, උන්නච්චි ජලාශ වලද වාන් දොරටු කිහිපයක් විවෘත කර ජල මට්ටම පාලනය කිරීමට පියවරගෙන තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 11 ක් වාන් දමමින් පවතින අතර මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 9 ක් ද පිටාර ගලමින් තිබේ. වෙහෙරගල ජලාශයේ ජල මට්ටමද ඉහළ යමින් තිබෙන අතර මැණික් ගඟ පරිහරණයේදී සැලකිලිමත් වන ලෙසද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

පොළොන්නරුව හා ත්‍රිකුණාමළය යන දිස්ත්‍රික්කයන්හිද ජලාශ රැසක් වාන් දමමින් තිබෙන අතර ඒ අවට ජනතාවටද සැලකිලිමත්ව දෛනික කටයුතු වල යෙදෙන ලෙසද දැනුම් දී තිබේ. වැව් හා ජලාශ පිටාර ගැලීමෙන් ඇතිවන ආපදා තත්ත්වයට මුහුණදීමට සිය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. වැව් හා ජලාශ භාර සියලුම ඉංජිනේරුවරුන්ගේ සහ සහකාර ඉංජිනේරුවරුන්ගේ නිවාඩු යළි දැනුම්දෙන තෙක් අවලංගු කර ඇති බවද හෙතෙම කීවේය.


http://www.dinamina.lk/2011/11/30/_art.asp?fn=n11113018

No comments:

Post a Comment